විගනකාධිපතිගෙන් රනිල් අහගනී - ආණ්ඩුව අර්බුදයක.


පසුගිය අයවැය ලේඛනය සම්බන්ධයෙන් විගණකාධිපති ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් ආණ්ඩුව බරපතල අර්බුදයකට ලක්ව තිබේ.

ඒ අනුව, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඊයේ (23) පස්වරුවේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා අරලියගහ මන්දිරයට කැඳවා ඒ පිළිබඳව දීර්ග වශයෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.

එම සාකච්ජාව සඳහා නියෝජ්‍ය විගනකාධිපතිවරයා ඇතුළු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ සිටිය ද අදාල හමුදා සඳහා විගණකාධිපතිවරයා පමණක් සහභාගී කරවාගෙන තිබේ.

මුදල් ඇමතිවරයා හා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාද අගමැතිවරයා සමඟ මෙම සාකච්ජාවට සහභාගී වී ඇත.

පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලද ප‍්‍රමාණයට වඩා ණය ගෙන ඇති බවට විගණකාධිපති වාර්තාවක් සකස් කලේ කෙසේදැයි එහිදී අගමැතිවරයා විගණකාධිපතිවරයාගෙන් ප‍්‍රශ්ණ කර තිබේ.

වගකීම ඉටුකලා :

කෙසේ වෙතත් පිළිතුරු ලෙස විගණකාධිපතිවරයා පවසා ඇත්තේ, තමන්ගේ වගකීම වන්නේ ගත් ණය නිවැරදිව වාර්තා කිරීම බවත් තමන් සහ දෙපාර්තමේන්තුව ඉතා ඉහලින් එම වගකීම ඉටු කර ඇති බවත්ය.

මේ වසරේ ගෙවන ලද ණයත් මෙම විගණනයට ඇතුලත් කර ඇත්දැයි අගමැතිවරයා විමසූ විට විගණකාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ‘ණය ගත් ඒවා සඳහන් කරල තියෙනව. ගෙවු නොගෙවු ඒවා වෙනම වාර්තාවක්. ගත් ණය කියන එකයි මගේ වගකීම’ කියාය.

‘මීට කලින් විගණකාධිපතිවරු එහෙම කරලා නැහැ’ අගමැති රනිල් කියා සිටිද්දී ‘ඒක මට අදාල ප‍්‍රශ්නයක් නොවෙයි. මගේ වගකීම මේ කරුණු හරියට වාර්තා කිරීම’ යයි පෙරලා විගණකාධිපතිවරයා සඳහන් කර ඇත.

IMF එකට මොකද කියන්නෙ ?

සාකච්චාව අවසානයේදී මුදල් ඇමතිවරයා ‘ඔබතුමා රට ගැන හිතන්න අපි IMF එකට මොකද කියන්නෙ’ යයි කියද්දී ''මං රට ගැන හිතන නිසා තමයි මේ කරුණු හරියට වාර්තා කරන්නෙ. IMF එකට කියන කතා මගේ වගකීමක් නොවෙයි'' යයි සැනෙකින් විගණකාධිපතිවරයා පිළිතුරු දී ඇත.

පාර්ලිමේන්තුවෙන් අනුමත වූ ණය ගැනීම් ප‍්‍රමාණය රුපියල් මිලියන 1,511,138ක් වන අතර රජය විසින් ලබාගෙන ඇති ණය ප‍්‍රමාණය විගණකාධිපති දෙපාර්තමේතුවට අනුව මිලියන රුපියල් 1,788,892කි.

විගනකාධිපති වාර්තාව ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් විමසීමේදී, '' එම වාර්තාව මැයි මාසයේ සිට මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියේ තියනවා. එක දැන් ප්‍රසිද්ධ ලේඛනයක් '' යයි විගණකාධිපති පවසා තිබේ.

විගණකාධිපති ගේ පැහැදිලි කිරීම් වලද ගතයුතු යමක් ඇති අගමැතිවරයා සාකච්ජාව නිමා කරමින් පවසා තිබේ.

Share on Google Plus