අද රාත්‍රියේ බොහෝ දේ වෙයි.


කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද(08) දින රැස් වූ පාර්ලිමේන්තුව හෙ‍ට(09) දිනය දක්වා කල් තබා ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව අග්‍රමාත්‍යවරයාට ප්‍රශ්න යොමු කිරීමේ වාරය අතර තුර මයික්‍ර‍‍ෆෝන් පද්ධතියේ ඇති වූ දොෂයක් හේතුවෙන් පාර්ලිමේන්තු සභා වාරය කල් දමා ඇති බව අප වාර්තාකරු පවසයි.

පස්වරු 1ට රැස්වූ පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වී විනාඩි 5ක කාලයක් ගතවීමෙන් අනතුරුව මයික්‍ර‍‍ෆෝන් පද්ධතියේ දොෂයක් ඇති වී තිබේ.

ටික වේලාවකින් පසුව ආරම්භ කළ පාර්ලිමේන්තු සභාවාරය යළිත් ඇති වූ කාර්මික දෝෂය හේතුවෙන් කල් තැබූ බව අප වාර්තාකරු පවසයි.

එමෙන්ම රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද දින විවාදයට ගැනීමට නොහැකි වී ඇති අතර හෙට දිනයේ එය විවාදයට ගැනීමට නියමිත බවද සඳහන්ය. 

මේ අතර අද පස්වරුවේ ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ අද ඇති වූ සිද්ධිය සැලසුම් සහගත කි‍්‍රයාවක් බවයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ද  මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. එහිදි හෙතෙම සඳහන් කළේ හෙට ශබ්ද විකාශන පද්ධතිය ක්‍රියා කරනු ඇති බවට විශ්වාස කළත් ඒ අතරතුර අද රාත්‍රියේ බොහෝ දේ සිදු විය හැකි බවයි.   

කෙසේ වෙතත් මයික‍්‍රෆෝන කි‍්‍රයා විරහිත වූ අවස්ථාවේදී විවාදය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ආණ්ඩු පක්ෂය විකල්ප යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ, ශබ්ද විකාශන යන්ත‍්‍ර දෙකක් මගින් වෙනත් මයික‍්‍රෆෝනයක් යොදාගෙන විවාදය පවත්වාගෙන යාමටයි. එහෙත් ඒකාබද්ධ විපක්ෂය ඊට දැඩි විරෝධය පළ කිරීමත් සමග එම යෝජනාව කි‍්‍රයාත්මක වූයේ නැහැ. 

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් අත්සන් කරන ලද පාර්ලිමේන්තු මහලේකම්වරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ද කථානායකවරයාට භාරදුන් බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළා. 



Share on Google Plus