අධිකරණය නොමඟ යැවූවාට කිළීගේ ගෝලයෙක් අත්අඩංගුවට.


පසුගිය රජය සමයේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. ඒ 2011 වසරේ ඔහු පදවාගෙන ගිය වාහනයක් අනතුරට පත්වීම හේතුවෙන් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් අධිකරණය නොමග යැවීම හේතුවෙනි.

පසුගිය රජය සමයේ බලයේ සිටි දේශපාලනඥයන් සහ ඔවුන්ගේ හෙංචයියන් සිදුකළ මෙවැනි සිදුවීම් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු එකින් එක එළියට පැමිණෙමින් තිබෙන අතර පමා වී හෝ අසාධාරණයට ලක්වූවන් වෙනුවෙන් සාධාරණයට ඉටුවීම අගය කළ යුතුය.

2011  වසරේ මාර්තු මාසයේදී වව්නියාව සෙට්ටිකුලම්හිදී රංගා ගමන් කරමින් සිටි වාහනයක් අනතුරට පත්වූ අතර එම අනතුරෙන් ඔහුගේ ආරක්ෂාවට සිටි ජයමිනි පුෂ්පකුමාර නැමැති ඇමති ආරක්ෂක අංශයේ සාමාජිකයා මියගොස් තිබේ.

රංගාගේ රියදුරා මෙම අවස්ථාව වනවිට නිවාඩු ගොස් තිබීම හේතුවෙන් රංගා විසින් වාහනය පදවාගෙන ගොස් තිබේ. කෙසේ වෙතත් අනතුරෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී බලය භාවිතා කරමින් රංගා රිය අනතුරු චෝදනාවෙන් මිදී ඇති අතර ඒ වෙනුවට අදාල ආරක්ෂක නිළධාරියා රියදුරා ලෙස කටයුතු කළ බව පොලීසියට පවසා තිබේ. කෙසේ වෙතත් සෙට්ටිකුලම පොලීසිය පැවැත්වූ පරීක්ෂණයේදි හෙළිවී ඇතිතේ ජයමිනි පුෂ්පකුමාර අනතුරට ලක්වන විට වාහනයේ වම්පස ආසනයේ සිට ඇති බවයි.

එවකට ආණ්ඩුවේ ප්‍රබලයන් වූ හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික් නියෝජනය කළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු රංගා බේරාගැනීම සඳහා කටයුතු කර තිබේ. ඔවුන් පොලීසියට බලපෑම් කර ඇති අතර ඊට අමතරව වාහනයට සිදුවූ අනතුර හෙළිකර ගැනීමට අපහසු වන ලෙස වාහනයට තවදුරටත් හානි සිදුකර තිබේ.

කෙසේ හෝ එවක පැවති ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ බලපෑමෙන් රංගා අදාල චෝදනාවෙන් නිදහස් වී ඇති අතර අවසානයේ මියගිය ඇමති ආරක්ෂක අංශ සාමාජිකයා වෙතම රිය අනතුරු චෝදනාව පැටවීමට ඔවුන් සමත්ව තිබේ.

ඉන්පසු පසුගිය 22 වැනිදා මියගිය පුද්ගලයාගේ බිරිඳ මෙම රිය අනතුර සම්බන්ධයෙන් නැවතත් වව්නියාව පොලීසියේ නඩුවක් ගොනුකර ඇති අතර එම නඩුව ඔක්තෝබර් 26 වැනිදා දක්වා කල්තබා තිබේ. දේශපාලන බලපෑම් මත කලින් රංගා මෙම චෝදනාවෙන් නිදහස් වුවද මෙවර ඔහුට මෙම චෝදනාවෙන් නිදහස්වීමේ හැකියාවක් නොමැති අතර එයට සෙට්ටිකුලම පොලීසිය විසින් අදාල රිය අනතුර සම්බන්ධයෙන් සටහන් කර ඇති වාර්තා හේතුවනු ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව මෙම රිය අනතුර සිදුවන මොහොතේ නිවාඩු ලබා සිටි එවකට රංගාගේ රියදුරා ලෙස කටයුතු කළ පුද්ගලයාට රංගා බලපෑම් එල්ල කළ ඇති බව ද වාර්තා වේ. මෝහන් නැමැති අදාල රියදුරා මෙම රිය අනතුරට පටලැවීම සඳහා රංගා උත්සාහ දරා තිබේ. අනතුරෙන් පසුව මෝහන් අමතා ඇති රංගා පවසා ඇත්තේ හැකි ඉක්මනින් වව්නියාවට පැමින රිය අනතුරෙහි වගකීම භාරගන්නා ලෙසයි. ඒ සඳහා රුපියල් ලක්ෂ ගණනක් ඔහුට ලබාදීමට ද රංගා උත්සාහ දරා තිබේ.

කෙසේ වෙතත් මෝහන් පවසන්නේ තමන් නොකළ වරදකට මුදල් ලබාදී පටලැවීමට රංගා උත්සාහ කළ බවත් ඒ සඳහා තමන් අකමැත්ත ප්‍රකාශ කළ බවත්ය. මේ සම්බන්ධයෙන් මෙම සිදුවීමෙන් පසුව ද රංගා තමාට තර්ජනය කළ බවයි මෝහන් පවසන්නේ.

Share on Google Plus