රාජගිරියේ ගුවන් පාලමේ ඉදිකිරීම් ඇරැඹෙයි.


මීටර් 363 ක් දිග මන්තීරු 4 ක් යටතේ ඉදි කෙරෙන රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු රාජගිරිය වැලිකඩ මංසන්ධියේදි අද(06) ආරම්භ කෙරිණි.

රුපියල් මිලයන 4700 ක වියදමකින් ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට යෝජිත එම ගුවන්පාලමේ ඉදිකිරීම් කටයුතු මාස 32 කින් නිම කිරීමට අපේක්ෂා කෙරේ.

ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය යටතේ පොල්ගහවෙල හා ගණේමුල්ල ගුවන් පාලම් ද මේ වන විට ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙන අතර මේ ව්‍යාපෘති සියල්ලට රුපියල් රුපියල් 8,486,099,420 ක් වැය කෙරේ.

මඑම මුදලින් සියයට 70ක ප්‍රමාණයක් සඳහා සියයට 0.15ක පොලියක් අය කෙරෙන අතර ඉතිරි සියයට 30 සඳහා සියයට 1.95ක පොළියක් ගෙවීමට සිදු වේ.

නැවත ගෙවීමේ කාලය වසර 4ක සහන කාලයක් ද සහිතව වසර 40ක් දක්වා වේ.

රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් වු විට මාර්ගය භාවිතා කරන්නන්ට ධාවන කාලය අවම කර ගැනීමට මෙන්ම කොල්ලුපිටිය - ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය භාවිතා කරන්නන්ට ඉක්මණින් ගමන් කිරීමේ හැකියාව ලැබේ.

මීට අමතරව රාජගිරිය නගරය හා අවට ප්‍රදේශවල සමාජීය හා ආර්ථික වශයෙන් සංවර්ධනය වීම, වායු දුෂණය අවම වීම, වහන නඩත්තු වියදම් අවම වීම වැනි සහන ද ජනතාවට හිමි වේ.

රාජගිරිය ගුවන් පාලමේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, මුදල් ඇමැති රවී කරුණානායක, විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහත්වරු සහභාගී වුහ. 

Share on Google Plus