අගමැති වික්‍රමසිංහ හා ලංකාදීප විජේවර්ධනලා ගැටුමක.


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත්කරන විජය නිව්ස් පුවත්පත් ආයතනයේ ප්‍රධානින් අතර සිතල ගැටුමක් හටගෙන ඇතැයි වාර්තාවේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සමීප මාධ්‍යවේදියකු වන සුජිත් මංගල ද සිල්වා මහතාගේ සේවා කාලය දීර්ග නොකර, ඔහු 'ලංකාදිප' පුවත්පතින් ඉවත් කිරීම මෙම ගැටුමේ තීරණාත්මක කඩඉමක් බව අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

විජය නිව්ස් පුවත්පත් ආයතනයේ සභාපති රන්ජිත් විජේවර්ධන මහතා අගමැතිවරයාගේ මෑණියන්ගේ බාල සොයුරාය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා, රන්ජිත් විජේවර්ධන මහතාගේ පුත්‍රයෙකි.

රාජපක්ෂ පාලන සමයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට පහරදෙමින්, රාජපක්ෂවරුන් වෙනුවෙන් ඉතා විශාල කාර්ය භාරයක් ඉටුකළ ලංකාදීප පුවත්පතේ කර්තෘ සිරි රණසිංහ, ඉරිදා ලංකාදීප කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත හා දේශය පුවත්පත් කර්තෘ රන්ජිත් ආනන්ද ජයසිංහ යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් තිදෙනා තවදුරටත් එම තනතුරුවල රඳවා ගෙන සිටීම අගමැතිවරයාගේ නොසතුටට හේතුවී තිබු අතර, ඔහු ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා හරහා තම කනස්සල්ලට මාමණ්ඩිය වෙත දැනුම් දී ඇත.

අවලාද ව්‍යාපාරයක් :

කෙසේවුවද, ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුන අතර අනතුරුව සිරි රණසිංහ මහතා ඉලක්කකර ගනිමින් ප්‍රබල අවලාද ව්‍යාපාරයක් දියත්විය.

වෙබ් අඩවි හරහා සිදුවූ මෙම අවලාද ව්‍යාපාරයට රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීප හිතවතුන් වූ දිනිත් චින්තක කරුණාතිලක, සුජිත් මංගල හා අශෝක ජයතුංග යන ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදීන් සම්බන්ධ බවට ආයතන පරිපාලනය විසින් හඳුනා ගෙන තිබු බව වාර්තාවේ.

මේ අතර වසර 14ක් ලංකාදීප ආයතනයේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කල සුජිත් මංගල ද සිල්වා මහතාට කොන්ත්‍රාත් පදනමින් ලබාදී තිබු සේවා කාලය අවසන් වූ අතර අගමැති කාර්යාලයේ ඉල්ලීම මත එය මාස 03කින් දීර්ග කර තිබිණ.

එම මාස තුනක සේවා කාලය පසුගිය සතියේ අවසන් වූ අතර ඔහුගේ සේවය තවදුරටත් අනවශ්‍ය බව පරිපාලනය විසින් ලිඛිතව දන්වා තිබේ.

එසේම, මේ වසර අවසනින් පසු අශෝක ජයතුංග මහතාගේ සේවය නිමා කිරීමට ද විජය පුවත්පත් සමාගම තීරණය කර ඇතැයි වාර්තාවේ.

මෙසේ සුජිත් මංගල මහතා සේවයෙන් ඉවත්කර ඇත්තේ, ඔහුව ස්ථිර කාර්ය මණ්ඩලයට අනුයුක්තකරන ලෙස අගමැතිවරයා, රුවන් විජේවර්ධන රාජ්‍ය ඇමතිවරයා හරහා රන්ජිත් විජේවර්ධන මහතා ගෙන් ඉල්ලීමක් කර තිබියදී ය.

එම ඉල්ලීම නොසලකා හැරීම අගමැතිවරයට එල්ලකළ කණේ පහරක් බව අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානීන්ගේ මතය වී තිබේ.

රුවන් ට කැපිල්ලක් ?

මේ අතර, එජාප යොවුන් පෙරමුණේ නායකත්වය ජාඇල එජාප සංවිධායක කාවින්ද ජයවර්ධන මහතාට ලබාදීමත්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කැලණිය ආසනයේ එජාප සංවිධායක කිරීමටත් අගමැතිවරයා තීරණය කිරීම, ගම්පහ දිස්ත්‍රීක්කය නියෝජනය කරන රුවන් විජේවර්ධන මහතාට එල්ල කල 'තර්ජනං ගුලියක්' විය හැකි බව දේශපාලන විචාරකයින් පවසති.

එසේම, ගම්පහ නියෝජනය එජාප ආසන සංවිධායකයින් වන ඇමති අර්ජුන රණතුංග, රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන්ට මේවනවිට අගමැතිවරයාගේ විශේෂ අනුග්‍රහයක් හිමිව තිබේ.

තමාට අභියෝග කල එජාපයේ දැවැන්තයකුව සිටි රුක්මන් සේනානායක මහතා දේශපාලන දම්පෙත්තෙන් සදහටම ඉවත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය. රුක්මන් සේනානායක මහතා, රන්ජිත් විජේවර්ධන මහතාගේ බිරිඳගේ වැඩිමල් සොයුරාය.

Share on Google Plus