චම්පිකගෙන් රතු එළියක්.


චම්පික රණවක විසින් රචිත "ප්‍රවේශමෙන්! මූල්‍ය අගාධයක් ඉදිරියෙනි" කෘතිය ජනගත කිරීම 2016 ජුනි මස 20 වන දින සවස 3.00 ට පදනම් ආයතනයේදී පැවැත්වේ.

ඒ සම්බන්ධයෙන් "ප්‍රවේශමෙන්! මූල්‍ය අගාධයක් ඉදිරියෙනි" සංවිධායක කමිටුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

"හෙතෙම, "බලය සහ බලය" සමාජගත කරමින් විදුලිබල ක්ෂේත්‍රයේ සිදුවුණු දූෂණ, වංචා රැසක් හෙළි කිරීම තුළින් එවක පැවති රාපක්ෂ ආණ්ඩුව දෙදරවීමට සමත් වූහ.

පෙර නොවූ විරූ ආකාරයේ මධ්‍යගත රාජ්‍ය බලයක් පතුරමින්, අසීමිත මුදල් සම්භාරයක් වියදම් කරමින් වංචාව හා දූෂණය රජ කරවූ රාජපක්ෂ පාලනය නම් ගල් ලෙනෙහි ලෙන් දොර බිඳ එහි අක් මුල්  සිඳලීමට ක්‍රියා කළහ.

ධනය, බලය හා නිලතල වලට කෑදර නොවී, රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් තම වරප්‍රසාද අත්හරිමින් සෘජු තීන්දු තීරණ ගැනීමට ක්‍රියා කළහ.

"බලය සහ බලය","ආලාපාළු ආර්ථිකය"තුළින් පැවති රජයට අනතුරු අඟවා, යහ පාලනයේ නව මං විවර කරමින් නව රජයක් ගෙන ඒමට පුරෝගාමී වූ ඔහු, නමින් පාඨලී චම්පික රණවකය.

යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලීමේ පොරොන්දුව මත බලයට පත් වූ නව රජයට, පැවති රාජපක්ෂ පාලනය විසින් නග්න ලෙස ප්‍රදර්ශනය කරන ලද දූෂණය, නාස්තිය හා අත්තනෝමතිකත්වය නිසා ඇතිව තිබෙන විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුව තිබේ.

රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් නැවතත් හරි මඟ පෙන්වාදෙමින්, රාජපක්ෂ පාලනයේ බියකරු උරුමයක් වන එකී අභියෝගය ජයගැනීමෙන් තොරව රට ඉදිරියට ගෙන යා නොහැකි බවත්, එසේ නොවුනහොත් අනාගතයේදී රට මූල්‍ය අගාධයකට තල්ලු වී යාමේ අවධානම පිළිබඳවත්, සිය බුද්ධිය මෙහෙයවමින් "ප්‍රවේශමෙන්! මූල්‍ය අගාධයක් ඉදිරියෙනි" නමින් ශාස්ත්‍රීය අධ්‍යයනයක් ජනතා ගත කිරීමට පාඨලී චම්පික රණවක මහතා සූදානම්ය.

සබුද්ධික අදහස්, සමාජ දේශපාලන බලවේගයක් බවට පරිවර්තනය කරලීමේත්, රාජ්‍ය ප්‍රතිපත්තීන් බවට පත්කරලීමේත් ශක්‍යතාව සහිත, එකවිට දේශපාලන සහ බුද්ධිමය යන ක්ෂේත්‍ර දෙකම ශක්තිමත්ව නියෝජනය කිරීමට සමත් චම්පික රණවක රටේ ඉදිරි මූල්‍ය අනාගතය, 2016 ජුනි මස 20 වන දින සවස 3.00 ට පදනම් ආයතනයේදී සමාජගත කිරීමට සූදානම්ය.

"ප්‍රවේශමෙන්! මූල්‍ය අගාධයක් ඉදිරියෙනි" - සංවිධායක කමිටුව -
2016.06.16



Share on Google Plus