ජනාධිපති ඉඩම් අමාත්‍යංශයට ඇඟිලි ගසයි.


සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන්ගේ විෂය කොටස් කිසිවකට ජනාධිපතිවරයා මැදිහත්වීම් සිදුනොකළත් එම එකඟතාව බිඳවැටුණු සිදුවීමක් පළමු වරට වාර්තා වෙයි.

මෙසේ සම්මුතිවාදී ආණ්ඩු ප‍්‍රතිපත්තිය පළමු වරට බිඳ දමන්නට ජනාධිපතිවරයා මැදිහත්ව තිබෙන්නේ දේශපාලන බලය යොදාගනිමින් රට පුරා සිදු වන නීති විරෝධී ඉඩම් කොල්ලකෑම සම්බන්ධ පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුවය.

ජනාධිපතිවරයාට ලැබී ඇති මෙම පැමිණිලිවලට අනුව ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළුව ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන් සහ හිතවතුන් මෙම ඉඩම් මංකොල්ලයේ නිරතව සිටියි.

ඒ තුළ මේ වන විටත් රජයේ ඉඩම් ගොඩකර ගැනීම, කොටුකර ගැනීම සහ නීති විරෝධී අයුරින් භුක්ති විඳීම ආරම්භ කර ඇති අතර එසේ නීති විරෝධීව අත්පත් කරගත් ඉඩම් නීත්‍යානුකූල කර ගැනීම සඳහා දේශපාලන බලපෑම් ද සිදු කරමින් සිටියි.

යළි දැනුම්දෙන තුරු නවතනු :

මේ අයුරින් රජයේ ඉඩම් දේශපාලන හිතවත්කම් මත සහ දේශපාලන බලහත්කාරය යොදාගෙන අත්පත් කර ගැනීම වළකාලීම අරමුණු කරගෙන ජනාධිපතිවරයා ඉඩම් අමාත්‍යාංශය සහ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ වෙත නියෝග කිහිපයක් නිකුත් කර ඇත.

අප වෙත වාර්තා වන අන්දමට ඒ යටතේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජෝන් අමරතුංග අමාත්‍යවරයාගේ ඉඩම් අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ සිදු වන සියලූ‍ රාජ්‍ය ඉඩම් මැනීම, පැවරීම, අන්සතු කිරීම, නිරවුල් කිරීම ඇතුළු සියලූ‍ කාර්යයන් යළි දැනුම්දෙන තුරු නවත්වන ලෙස නියෝග කර ඇත.

ඒ පිළිබඳ විමසා බැලීම සඳහා අප එහි සභාපති සුමනදාස තාඹුගල මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් එය සාර්ථක වූයේ නැත.

මීට අමතරව එම අමාත්‍යාංශය යටතේ තිබූ මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයා වන ටී.බී. ඒකනායක මහතා වෙත පැවරීමට ද තීරණය කර ඇත.

පාඨලීටත් නියෝගයක් :

එසේම සියලූ‍ම පහත්බිම් ගොඩ කිරීමේ කටයුතු සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් දියත්කර තිබෙන සියලූ‍ ක‍්‍රියාකාරකම් නවතා දමන ලෙස පාඨලී චම්පික අමාත්‍යවරයාගේ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට අයත් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලය වෙත ද ජනාධිපතිවරයා නියෝග කර ඇත.

මේ පිළිබඳ අප කළ විමසුමේ දී එහි සභාපති අසේල ඉද්දවෙල මහතා ද ඒ බව තහවුරු කර සිටියේය.

මේ අයුරින් ජනාධිපතිවරයාට සම්මුතිවාදී ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිවලින් බැහැරව කටයුතු කිරීම සම්බන්ධව අප වෙත ලැබුණු තොරතුරුවලට අනුව මේ වන විට ජනාධිපතිවරයාට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇති මුදල් අමාත්‍යාංශය, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, ශ‍්‍රී ලංකා පොලීසිය ආදී ආයතන ඉදිරියෙන් ඇති අතර එකී පැමිණිලිවලට අදාළ කාර්යයන් අමාත්‍යාංශ තුළින් සිදු වන්නේ නැතිනම් එම ආයතනවලට ද ඉදිරියේ දී මේ ආකාරයෙන් ජනාධිපති නියෝග නිකුත් වනු ඇත.

Share on Google Plus