හිටපු ජනපති බිරියගේ හෝටල් බිලක් රජයට ඉදිරිපත් කරලා.


හිටපු ජනාධිපති බිරිය ප්‍රංශයේ වෙසක් උත්සවයක් නැරඹීම සඳහා 2014 වසරේ කළ සංචාරයක දී එක් රැයකට රුපියල් 2,573,746 බැගින් වන පරිදි පැරීසියේ පිහිටි ඉහළ ම පෙළේ හෝටලයක රාත්‍රී 4ක් ගත කිරීමට වැය වූ මුදල ගෙවීම සඳහා රජයට බිල්පත් ඉදිරිපත් කර තිබෙන බව වැඩබලන විදේශ ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ජනපති ආර්යාව සමඟ එම සංචාරයට සහභාගී වූ අනෙකුත් අය නවාතැන් ගෙන ඇත්තේ ජනාධිපතිවරයා පාවිච්චි කරන මට්ටමේ කාමරවල බවත් සඳහන් කරන ඇමැතිවරයා, ඒවාට අමතරව කාමර සැකසීම වෙනුවෙන් ද යූරෝ 650 සහ 750 බැගින් හා 'මිනි බාර්' සඳහා යූරෝ 371 බැගින් වැය කර ඇති බව ද පවසයි. ජනතා මුදල් නාස්ති කරමින් සිදුකරන මෙවැනි වියදම්වල බරපැන දැරීමට සිදුවන්නේ රජයට බවත් හෙතෙම සඳහන් කරයි.

පසුගිය රජය සමයේ බලවතුන් මෙලෙස විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කළ ද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු විදේශ සංචාරයක දී මුදල් නාස්ති කර නොමැති බවත්, ජී-7 සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව යාමේ දී ද එතුමා ඉතා නිහතමානීව වාණිජ ගුවන් යානයක් භාවිත කළ බවත් සඳහන් කරයි.

ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (2) පැවැති මාධ්‍ය හමුවේ දී ය.

‘ජී-7 සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් එහි ගියේ පෞද්ගලික ගුවන් යානා හෝ රජයට අයත් ගුවන් යානාවලින් වුවත් අපේ ජනාධිපතිතුමා ගියේ වාණිජ ගුවන් යානාවකින්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිටරටවලට යනවිට ශ්‍රී ලංකන් ගුවන් යානාවක් ම අරගෙන යනවා. ආපසු එන්නේත් ඒ යානයේමයි.

ඒත් අපේ ජනාධිපතිතුමා ඉතා නිහතමානීව සාමාන්‍ය ජනතාව මෙන් සිංගප්පූරුවට ගොස් එහි පැය 4ක් නතරවී පසුව ජපානය බලා පිටත්ව ගියා. මේ නිසා එතුමා රතු පළස මතින් එතුමා පිළිගැනීමට ජපන් බලධාරීන්ට නොහැකි වුණා. ඔවුන් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට කනගාටුව පළ කිරීමේ දී එය ඉතා සුළු දෙයක් බවත්, එවැනි පිළිගැනීම් තමා අපේක්ෂා නොකරන බවත් එතුමා ප්‍රකාශ කර තිබුණා.'යැයිද ඒ මහතා පැවැසීය.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි මහතා- ජී-7 සමුළුවට සඳහා ශ්‍රී ලංකාවට ආරාධනාවක් ලැබුණේ පළමුවරටයි. එහෙත් ලෝකයේ ප්‍රබලම රටවල රාජ්‍ය නායකයන්ගේ අවධානය දිනා ගැනීමට එයට සහභාගී වූ අපේ ජනාධිපතිතුමාට හැකි වුණා. එම සමුළුවේ ප්‍රතිලාභ රටට අත්කර දීමට එතුමා සමත් වුණා.

යහපාලනය ක්‍රියාත්මක කරමින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර තිබෙන එමෙන්ම වේගයෙන් දියුණුවන රටක් ලෙස ශ්‍රී ලංකාව මේ සමුවේදී විශේෂ අවධානයට යොමු වුණා. මෙරට ආයෝජන කිරීම සඳහා බොහෝ රටවල් එකඟත්වය පළ කළා.

ලෝකයේ රටවල් අපේ ජනාධිපතිතුමා දෙස බලන්නේ ලෝකයේ අමුතුම දේශපාලන සංස්කෘතියක් බිහිකළ රටක නායකයා ලෙසයි. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ රට දියුණු කිරීම වෙනුවෙන් පක්ෂ බේදයෙන් තොරව එකට එකතුවීම මෙයට හේතුවයි. මෙය බොහෝ රටවල ප්‍රසාදයට හේතුවී තිබෙනවා.

බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා-

ජී-7 සමුළුවේ දී අපේ ජනාධිපතිතුමා ආසියාවේ හඬ බවට පත් වුණා. අපේ රට සංචාරක පාරාදීසයක් ලෙස කාලයක් තිස්සේ ප්‍රසිද්ධව තිබුණත් මේ සමුළුවෙන් පසු එය ආයෝජකයන්ගේ පාරාදීසයක් බවට පත් වීමේ ගමන ආරම්භවී තිබෙනවා. පසුගිය ජනවාරි 8 වැනිදායින් පසු රටේ ඇතිවූ වෙනසේ ආශිර්වාදය ගැන ඇතැම් අයට අවබෝධයක් නැහැ. යුද්ධය නිම කිරීමෙන් පසු මේ රටේ ඇතිවූ ප්‍රගමනය ජී-7 සමුළුවෙන් පසු තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි. චීනය පමණක් නොව ජපානයත් අපට ආධාර උපකාර කිරීමට තීරණය කර තිබෙනවා. අගමැතිතුමා චීනයේ කළ සංචාරයේ දී එරට ජනාධිපතිතුමා තව තවත් මෙරට ආයෝජන සිදුකිරීමට කැමැත්ත පළ කළා. ගංවතුරෙන් විනාශ වූ දේවල් ප්‍රතිසංස්කරණය කර දීමටත් ඔවුන් එකඟවී තිබෙනවා. රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මේ සියලු අංශ එකතුවී ආපදා තත්ත්වයට මුහුණ දීම විශේෂත්වයක්.

බස්නාහිර පළාතේ එක්රැස්වූ කුණුවලින් 90%ක් මේ වනවිට ඉවත් කර අවසන්. ඉතිරිය ඉදිරි දෙදින ඇතුළත ඉවත් කර අවසන් කරනවා.


Share on Google Plus