සතොස ලොරිවලින් හොර එතනෝල් ඇදලා.


සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් සතොස ලොරි රථ සහ එහි රියැදුරන් යොදාගෙන හොර එතනෝල් ප්‍රවාහනය කරමින් රජයට රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කිරීම සම්බන්ධව හිටපු ඇමැතිවරයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ අරඹා ඇත.

වත්තල, කෙරවලපිටිය ‘ඇසැබික් ඕවර්සීස් ප්‍රයිවට් ලිමිටඩ්’ නම් ආයතනය මඟින් සුවඳ විලවුන් හා ඕඩිකොලෝන් නිපදවීමට යැයි පවසා එතනෝල් ආනයනය කර ඇති අතර එම එත‍නෝල් මඟින් මත්වතුර නිපදවා වයඹ පළාතට ප්‍රවාහනය කර ඇත්තේ සතොස ලොරි උපයෝගී කරගෙන එහි රියැදුරන් සහ සේවකයන් ද යොදා ගනිමිනි.

සතොස ලොරි රථ රියැදුරන් ඇතුළු සේවකයන් යොදා ගැනීමත් බදු වංචා කර එතනෝල් ආනයනය කිරීම මේ සමාගමට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවන්ය.

එ‍සේම එම එතනෝල් මඟින් මත්වතුර නිෂ්පාදනය කරමින් තවත් බදු වංචාවක් සිදු කිරීම ද මේ සමාගමට එල්ල වී ඇති තවත් චෝදනාවක් වන අතර හිටපු ප්‍රබල ඇමැතිවරයෙක් මේ සමාගමට ඍජුවම සම්බන්ධ බව මේ වන විට සාධක සහිතව අනාවරණය වී ඇත.

‍මේ සිදුවීම්වලට සම්බන්ධව අංක 488/16 යටතේ වත්තල අධිකරණයට කරුණු දක්වා මේ වන විටත් ඇන්ටන් රොබට් සෙබස්තියන් නමැති අය අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මේ වංචාවන්ට සම්බන්ධ හිටපු ඇමැතිවරයා 2012 - 2014 වසර තුනක කාලය තුළදී මේ වංචාවන් හරහා කෝටි ගණනක සිදු කළ රජයේ පාඩුව සම්බන්ධව අද හෙට ම අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවට වාර්තා වේ.

මීට පෙර ද හොර මත්වතුර නිපදවීම සම්බන්ධව ‘ඇසැබික් ඕවර්සීස් ලිමිටඩ්’ ආයතනයට විරුද්ධව නීති මඟින් ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කළ ද දේශපාලන බලපෑම් මත එය නතර වී ඇත.

Share on Google Plus