මිනිස් ඝාතන චෝදනා ලැබූ ජනකට නඩු නෑ.


එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප‍්‍රචාරක රැලියකට කඩා වැදී පුද්ගලයකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලැබෙනතුරු ප‍්‍රමාද වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

1999 දෙසැම්බර් මස 14 වන දින හෝ ඊට ආසන්න දිනක දී මාතලේ දිඹුල්ගමුව පැවැති එජාප රැස්වීමට තවත් පිරිසක් සමඟ කඩා වැදුණු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එහි දී එජාප ක‍්‍රියාකාරිකයකු ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදු කර තිබිණි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ දේශපාලන රැකවරණ මත මෙම ඝාතනය යටපත් කර තිබිණි. අමාත්‍යවරයා විසින් ඝාතනයට ඍජුව සම්බන්ධ බවට සාක්ෂි තිබිය දී තට්ට රූපේ නමැත්තකු බන්ධනාගාරගත කර ඇත. පසුව ඔහු ඇප මත නිදහස ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මිනිස් ඝාතනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වා 2015 ඔක්තෝබර් 06 දින ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළේය. පසුව ඔහු ද 2015 නොවැම්බර් මස 19 වන දින ඇප මත නිදහස් විය. අධිකරණය මූලික සාක්ෂි විභාගයෙන් පසුව නඩු පැවරීම සඳහා නීතිපති උපදෙස් පැතුවත් මාස හයක පමණ කාලයක් තිස්සේ අදාළ ලිපි ගොනුව නීතිපති දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ඇතැයි දැනගන්නට ඇත.

- දයා නෙත්තසිංහ
SathHandha

Share on Google Plus