මාධ්‍යවේදියාට පහරදුන් අය නීතිය හමුවට ගෙනෙනු : අගමැති.


මීගමුවේදී මාධ්‍යවේදී ෆ්‍රේඩි ගමගේ මහතාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ අය වහාම නීතිය හමුවට පමුණුවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන පොලිස්‌පති එස්‌. එම්. වික්‍රමසිංහ මහතාට උපදෙස්‌ දී ඇත.

එම මාධ්‍යවේදියාට එල්ලවූ මැර ප්‍රහාරය තමන් තදින් හෙළා දකින බවද මෙම ප්‍රහාරය සම්බන්ධව පරීක්‍ෂණ කටයුතු ඉක්‌මන් කරන ලෙසද අගමැතිවරයා වැඩිදුරටත් උපදෙස්‌ දී තිබේ.

ෆ්‍රේඩි ගමගේ මහතා මීගමුවේ "මීපුර" නමින් පුවත්පතක්‌ පවත්වාගෙන යන අතර හෙතෙම වෙබ් මාධ්‍යවේදියකු වශයෙන් ද කටයුතු කරයි.

මීගමුවේදී පෙරේදා (02 දා) සිදුවූ මෙම ප්‍රහාරයට වගකිව යුතු බවට නියෝජ්‍ය නගරාධිපතිවරයකුට චෝදනා එල්ලවී තිබේ.

අදාළ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ ක්‍රියාකාරකම් කිහිපයක්‌ම ෆ්‍රේඩි ගමගේ මහතා විසින් හෙළි කිරීම මෙම පහරදීමට හේතුවී ඇතැයි ද පැවසේ.

Share on Google Plus