බැඳුම්කර කරුණට කෝප් බෙදීමක්?



මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරිමේ කරුණ පදනම් කර ගනිමින් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් ) සාමාජිකයින් අතර බෙදීමක් තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරිම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව චෝදනා කරන ක්‍රමවේදය මුල්කර ගනිමින් කෝප් කමිටුවේ මෙම බෙදීම හට ගෙන තිබේ. ‍ කෝප් කමිටුවේ මෙම අර්බුදය හමුවේ පැහැදිලිවම එහි මේ වනවිට ස්ථාවර දෙකක කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වන අතර තවත් කණ්ඩායමක් අදාළ ක්‍රියාමාර්ගයේදි මධ්‍යස්ථ පිළවෙතක් අනුගමනය කිරීමටද සුදානම්ව සිටියි.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ‍කෝප් කමිටුවේ ‍කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම පවා උග්‍ර අර්බුදයක් බවට පත්ව ඇතැයිද වාර්තා වේ.

වත්මන් කෝප් කමිටුවේ මුළු සාමාජික සංඛ්‍යාව සභාපති ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා සමග 26 දෙනෙකි. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරු 12 දෙනකු සිටින අතර එයට අමතරව දෙමළ ජාතික සන්ධානය හා ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රිවරු ‍දසදෙනෙකි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු හතර දෙනෙකු කෝප් කමිටුව නියෝජනය කරති.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු හා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිවරු මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹී නැතැයිද වාර්තා වේ. 

Share on Google Plus