කෝප් කමිටුවට අපහාස කළාට හඳුන්නෙත්ති, අනුර විමල්ගේ පලු අරියි.


විමල් වීරවංශ මන්ත්‍රීවරයා සභා ගැබ තුළ නන්දොඩවමින් පොදු ව්‍යාපාර කාරක සභාවට (කෝප්) අපහාස කර ඇතැයි එම කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සහ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශ සිදු කරමින් පැවැසූහ.

විමල් වීරවංශ මහතා  පෙරේදා (23දා) පාර්ලිමේන්තුවේ කළ කතාව පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින් පළමුව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ කීවේය.

කෝප් එක කහ දියරෙන් නාවන්න, සුදු රෙදි අන්දවන්න කාටත් බෑ. කිසිම කෙනෙක්‌ එහෙම කරන්නෙත් නෑ. මම කෝප් සභාපති වුණේ ජනවාරි 26 වැනිදා. පෙබරවාරි 25 දා මහ බැංකුව පළමුවරට කැඳෙව්වා බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව. අපි බැඳුම්කර සිද්ධිය පිළිබඳ වෙනම පරීක්‍ෂණයක්‌ කරන්න තීරණය කළා. මේ ක්‍රියාවලිය ගැන දැනුවත් නැත්නම් කෝප් එක නියෝජනය කරන ඔහුගේ පක්‍ෂයේ නියෝජිතයාගෙන් අහගන්න තිබුණා. මේ මන්ත්‍රීවරයා කෝප් එක අපහාසයට ලක්‌කර තිබෙනවා. එය විමල් වීරවංශ කළ බරපතළ විවේචනයක්‌. පාර්ලිමේන්තුවට යමක්‌ ඉදිරිපත් කිරීමේදී ඔහු ඒ ගැන ඉගෙන ගෙන කළොත් හොඳයි. මේකට හේතුව ඔහු ඇමැතිවරයාව සිටියදී අයත් වූ රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථා වැඩබිමකට අපි පසුගියදා ගොස්‌ තොරතුරු සොයා බැලීමයි. ඔහුගේ අමාත්‍යාංශය ගැන සොයනවා නම් කෝප් එකට වෙන කරන්න වැඩක්‌ නැතිවේවි.

විපක්‍ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා - ඒ මන්ත්‍රීවරයා අද මේ සභාවේ හිටියා නම් හොඳයි. ඔහුගේ නම පැවැසීමත් අපුලයි. තමන්ගෙ ඔළුවට එන හිතලු නන් දොඩවන්න එපා කියන්න. මුදල් ඇමැතිවරයාගෙන් මම ප්‍රශ්නයක්‌ ඇහුවා විගණනකාධිපතිගේ ප්‍රකාශයක්‌ ගැන. එවැනි ප්‍රශ්නයක්‌ ඇසීම පාර්ලිමේන්තුවේ මට තියෙන අයිතියක්‌. ඒක ඔහුට නොතේරේ නම් මට කරන්න දෙයක්‌ නෑ. එක එක්‌කෙනාගේ ඔඩොක්‌කු කුක්‌කෙක්‌ වී ඉන්න අය උදේ හවා හැම දෙයක්‌ම කුමන්ත්‍රණ ලෙස දකින අය සියලු වංචා දූෂණ, නාස්‌ති, අපරාධ දේශප්‍රේමී සළුවෙන් වසා ගත හැකිය කියා හිතන අය ආණ්‌ඩුවේ සල්ලිවලින් පක්‍ෂ දුවන, ඥාතීන්ට ගෙවල් බෙදා දෙන, හොර පාස්‌පෝට්‌ නඩුවලට අහුවෙලා අගමැතිට කියලා නිදහස්‌ වූ අය තමන්ගේ කැත කුණු වසා ගන්න දේශප්‍රේමය යොදාගෙන ඉන්නවා.

මහබැංකු අධිපතිවරයාගේ වැඩ තහනම් කර ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ කළ යුතු යෑයි පළමුව පැවසුවේ අපි. ඒ නිසා අපිට වුවමනාවක්‌ නෑ මහ බැංකු අධිපතිව කහ දියරෙන් නාවන්න. මේ මන්ත්‍රීවරයාට ඕනෑ ඕනෑ විදිහට මෙහි තප්පුලන්න දෙන්න බෑ. හොරු මංකොල්ලකාරයෝ කහ දියරෙන් නාවන්නේ ඔහුයි. ඔහු මෙතැන හිටියා නම් හොඳයි. ඔහුගේ මුහුණට කියන්න කරුණු මට තියෙනවා.

Share on Google Plus