කුමන්ත්‍රණ පරාදයි - මහ බැංකු අධිපති කෝප් කමිටුවට පමණයි.


මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා එම තනතුරින් ඉවත් කිරීම වෙනුවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) මඟින් ඔහු පිළිබඳව පරීක්ෂණයක් පැවත්වීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

මතභේදාත්මක භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීමේ සිද්ධිය පිළිබඳව මහ බැංකු අධිපතිවරයාට එරෙහිව මේ වන විට පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව  විමර්ශනයක් පවත්වන අතර, එහි ප්‍රථිඵලය ඉදිරියේදී රජයට ලබාදීමට නියමිතය.

පසුගිය වසරේදී වසරක කාලයක් සඳහා මහ බැංකු අධිපතිවරයා පත්කළ අතර, ඔහුගේ ධුර කාලය මේ මාසයෙන් අවසන් වීමට නියමිත අතර, ඔහු නැවත පත්කිරීම පිළිබඳව මේ වන විට ආණ්ඩුව මත දෙකක සිටියි. 
ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ මෙන්ම ඇමතිවරුන්ගේ අදහස වී ඇත්තේ මහ බැංකු අධිපතිවරයා නැවත පත්කරන ලෙසයි. එසේම රාජිත සේනාරත්න, එස්.බී.දිසානායක අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යවරු කීපදෙනෙකුම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මහ බැංකු අධිපතිවරයා නැවත පත්නොකර ලෙසයි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයා හා ජනපතිවරයා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මහ බැංකු අධිපතිවරයා නැවත පත්කිරීම පිළිබඳව අවසන් තීරණය කෝප් කමිටු වාර්තාවෙන් පසුව ගැනීමටත්, ඒ දක්වා නැවත වරක් ඔහුගේ සේවා කාලය දීර්ඝ නොකිරීමටත් තීරණය කර තිබේ.

එසේම ඒ වන තෙක් නව මහ බැංකු අධිපතිවරයෙක් පත්නොකිරීමටත්, දැනට මහ බැංකුවේ සිටින ඉහළ නිළධාරීන් හා එහි කටයුතු පවත්වාගෙන යාමටත් රජයේ අවධානය යොමුව ඇතැයිද වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපතීත්වය දරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතායි.


Share on Google Plus