නව අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ පරීක්ෂණ නිමවනතුරු පමණයි.


මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් පැවැත්වෙන කෝප් කමිටු පරීක්ෂණය අවසන් වනතුරු කෙටි කාලයකට මහ බැංකු අධිපති ධුරය සඳහා නිලධාරියකු පත්කිරීම පිළිබඳ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්, අමාත්‍යවරුන් වන රවී කරුණානායක සහ මලික් සමරවික්‍රම මහත්වරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව තීරණය කිරීමට නියමිතය.

මේ වන විට චීනයට ගොස් සිටින රවී කරුණානායක මහතා දිවයිනට පැමිණි වහාම ඉහත සාකච්ඡාව පැවැත්වෙනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය. වත්මන් බැංකු අධිපතිගේ නිල කාලය අදින් (30) අවසන් වුවත් කෝප් කමිටු විමර්ශනය අවසන් වනතුරු යළි මහ බැංකු අධිපති ධුරයට භාර නොගැනීමට අර්ජුන් මහේන්ද්‍රන් මහතා තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් කොළඹ කොටුවේ පිහිටි මහ බැංකු මූලස්ථානයට ඊයේ (30) ගොස් එහි කාර්ය මණ්ඩලය හමුවූහ.

මහ බැංකු මූලස්ථානයට පැමිණි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පිළිගනු ලැබුවේ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසිනි. පස්වරු 4.35 ට ජනපති සහ අගමැති දෙපළ මහ බැංකු මූලස්ථානයට පැමිණි අතර අධිපතිවරයාගේ නිල කාර්යාලයට ගොස් මහ බැංකු කාර්ය මණ්ඩලය සමඟ අදහස් හුවමාරු කර ගත්හ. ශ්‍රී ලංකා මහ බැංකුවේදී ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට තේ පැන් සංග්‍රහයක් ද පිරිනැමිණි.

මහ බැංකු කාර්ය මණ්ඩලයට ඇති ප්‍රශ්න සහ ගැටලු පිළිබඳ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කාර්ය මණ්ඩලයෙන් කරුණු විමසීය. වත්මන් මහ බැංකු අධිපතිගේ පරිපාලනය යටතේ තමන්ට හිමිවූ වැටුප් වැඩිවීම් සහ අනෙකුත් වරප්‍රසාද පිළිබඳ මහ බැංකු නිලධාරීන් තිදෙනෙක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත විස්තර ඉදිරිපත් කළහ. විනාඩි 40 ක් පමණ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මහ බැංකු මූලස්ථානයේ රැඳී සිටියහ.

Share on Google Plus