බැසිල්ගෙ අලුත් පක්ෂය එජාපයේ ඩීල් එකක්?


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පිහිටුවීමට යන නව පක්ෂයේ සංවිධාන කටයුතු බදුල්ලෙන් ආරම්භ කිරීමට නියමිත බවට දැනගන්නට ලැබී ඇති බව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

ඇය මේ බව අනාවරණ කළේ කටාන නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ආණ්ඩු විරෝධයක් දක්වන මුවාවෙන් නිදහස් පක්ෂයට එරෙහිව නව පක්ෂයේ වැඩකටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නව පක්ෂය ආරම්භ කිරීමේ සංවිධාන කටයුතු සිදුකරමින් සිටින බවත් ඇය හෙළි කළේය.

ශ්‍රීලනිපයේ පලාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් අළුත් පක්ෂයක් නිර්මාණය කිරීමට තමන් විරුද්ධ බවත් එවැනි පක්ෂයක සාමාජිකත්වය ගන්නේ එජාපයේ හෝ ජවිපෙ සාමාජිකයින් නොවන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරිය එම නව පක්ෂයේ සාමජිකත්වය ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම අය බවත් සඳහන් කළාය.

මේ නිසා ශ්‍රීලනිපයේ ජයග්‍ර‍හණය නැතිවෙන බවත් මෙය එජාපයේ ඩීල් එකක්දැයි තමාට සිතෙන බවත් ඇය පෙන්වා දුන්නාය.

මේ අතර බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකදී මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසූවේ බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි බිඳ දැමීමට සූදානම් වන බවයි.

ඔහු පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට ප්‍රධාන වගකිව යුත්තා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා අපේක්ෂකයෙකු තෝරා ගත යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus