බැසිල් අලූත් පක්ෂයේ ශාඛා හදයි.


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පාර්ශ්වයට එරෙහි මෙහෙයුමක යෙදී සිටි බැසිල් රාජපක්ෂ මහතා සමඟ සමථයකට පත්වීම සඳහා මෛත‍්‍රී පාර්ශ්වය වෙනුවෙන් මැදිහත් වූ ඇමැති එස්. බී. දිසානායක මහතා සමඟ බැසිල් රාජපක්ෂ මහතා පැවැත්වූ සාකච්ඡා සියල්ල අසාර්ථක වී ඇත.

මේ අතර නැවත ඒකාබද්ධ විපක්ෂය මෙහෙයවීමේ බලය සියතට ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට නව සැලසුමක් දියත් කර ඇත. බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි කණ්ඩායමක් ඒකාබද්ධ විපක්ෂය තුළ සිටිය ද මේ වන විටත් නව පක්ෂයක් බිහි කිරීම සඳහා ප‍්‍රාදේශීය වශයෙන් ශාඛා සංවිධාන ලෙස කණ්ඩායම් ගොනු කිරීම ද සිදුව තිබේ. ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන මේ සංවිධාන ජාලය ගොඩනඟමින් පවතී.

පසුගිය මැයි දිනය වෙනුවෙන් ශ‍්‍රීලනිපයේ සහ එජනිස මහින්දවාදී කොටස් එකතු කරමින් කිරුළපන දැවැන්ත රැලියක් සංවිධානය කිරීම ද බැසිල් රාජපක්ෂ මහතා විසින් කටයුතු කරනු ලැබුවේ එය සාර්ථක වූයේ නම් ශ‍්‍රීලනිපයෙන් වෙන් වී වෙනම පක්ෂයක් ගොඩනගා ගැනීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් ගාල්ලේ ශ‍්‍රීලනිප රැලිය වඩා සාර්ථක විය. ඒ අතරතුර දී ඔහුගේ සහාය මෛත‍්‍රී පාර්ශ්වය වෙත ලබා ගැනීම සඳහා මෙහෙයුමක් ක‍්‍රියාත්මක වූ අතර ඔහුට එරෙහිව වන දූෂණ චෝදනාවලින් ගලවා ගැනීමට ද ශ‍්‍රීලනිප ප‍්‍රබලයන් යම් මැදිහත් වීමක් සිදු කර තිබිණි. එමෙන්ම එම මැයි රැලියෙන් පසුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බහුතරයක් මෛත‍්‍රී පාර්ශ්වය සමඟ එක්වීම සිදු වූ අතර ඉතිරි පිරිස තුළ බැසිල් විරෝධයක් වර්ධනය විය. එම නිසා බැසිල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේ පසුබෑමකට ලක්ව සිටියේය.

එනමුත් බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන මෙහෙයුම් පිටුපස සිටින්නේ ඉන්දීය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය බව ප‍්‍රසිද්ධ රහසක් වන අතර ශ‍්‍රීලනිපය දෙකඩ කර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේ අවශ්‍යතාව මත යම් පාලනයකට නතු කර ගැනීම ඉන්දියාවේ දේශපාලනික උපක‍්‍රමයක්ව පවතී. මේ වන විට මෛත‍්‍රීපාල සිරිසේන මහත සමඟ වන ඉන්දීය සම්බන්ධතා ද බිඳ වැටීමකට ලක්ව තිබේ.

මේ තත්ත්වය හමුවේ වසර දෙකක් සඳහා ගිවිසුමකින් බැඳී ශ‍්‍රීලනිපයත් එජාපයත් පිහිටුවා ගත් සම්මුතික ආණ්ඩුව වත්මන් පාර්ලිමේන්තු කාලය අවසන් වන තෙක් පවත්වා ගෙන යාම සඳහා නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද සූදානම් වේ. මේ වෙනුවෙන් ශ‍්‍රීලනිපයේ අනුර යාපා, සරත් අමුණුගම, එස්.බී. දිසානායක, ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසකගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර එජාපය ද රවී කරුණානායක, මලික් සමරවික‍්‍රම, මංගල සමරවීර ඇතුළු පිරිසකගෙන් යුතු කමිටුවක් පත් කර ඇත. මෙම අවබෝධතා ගිවිසුම සකස් කිරීමට අමතරව මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් පොදු වැඩපිළිවෙළක් මෙන්ම මෙවර අයවැය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ද මෙම කමිටු දෙක මඟින් සිදු වෙමින් පවතී. සම්මුතික ආණ්ඩුවට එරෙහිව රාජපක්ෂවාදීන්ගෙන් වන අභියෝග නොසලකා හැර ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යාම මෙම සාකච්ඡාවල මූලිකම අරමුණ වී ඇත.

- සුභාෂ් ජයවර්ධන
SathHandha

Share on Google Plus