සාලාව පිපුරුම අවි ජාවාරමුන්ගේ වැඩක්?


අවිස්සාවේල්ල කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පිහිටි ‘උප වෙඩි උණ්ඩ ගබඩාව’ පුපුරා යාම පිටුපස මෙරට අවි ජාවාරම්කරුවෝ සිටින බවට බරපතළ සැකයක් පවතී.

සාලාව ගබඩාව පුපුරා යෑමට හේතුව නිල වශයෙන් යුද හමුදාව හෝ මේ සම්බන්ධ පරීක්ෂණ පවත්වන රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කර නැතත් මේ වන විට අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව මෙය සැලසුම් සහගත ක‍්‍රියාවක් යැයි සැක කළ හැකි බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පසුගිය ඉරිදා (05) සවස 5.42 ට පමණ උණ්ඩ ගබඩාවේ ගින්න ඇතිවන අවස්ථාව වන විට සුපුරුදු පරිදි කඳවුරේ රාජකාරි ස්ථාන ගතවීම ක‍්‍රියාත්මක වෙමින් තිබිණි. එම මොහොතේ කඳවුරේ සියලූ සෙබළුන් සූදානමින් පසුවන අවස්ථාවක් වීම සහ හදිසි තත්ත්වයක දී ගත යුතු ආරක්ෂාකාරි පියවර වහා ක‍්‍රියාත්මක කිරීමේ සූදානමක ද පසුවීම නිසා එක ජීවිත හානියකින් මේ විනාශය වළක්වාගත හැකිව තිබිණි. ගඩබාව ගිනිගෙන පිපිරීම ආරම්භ වී තිබුණේ 6.30ට පමණය. ඒ අවස්ථාව වන විට හමුදාව අවට ප‍්‍රදේශයෙන් ජනතාව ඉවත් කිරීමට ද සමත් විය. මෙම ගින්න සැලසුම් සහගත ක‍්‍රියාවක් නම් එම ගින්න සිදුවූ මොහොත ද එය ජීවිත හානි වළක්වා ගනිමින් සිදු කිරීම ද එම සැලසුමේම කොටසක් විය හැකි බවටත් සැක කෙරේ. මෙම ගබඩාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිසේත්ම නිදහසට කරුණු දැක්විය නොහැකි තරම් අඩුපාඩු දුර්වලතා රැසක් මෙම ගින්න සිදුවීමට දින කිහිපයකට පෙර සිට සිදුව තිබීමත් සැකයට භාජනය වී ඇත. එසේම ගින්න සම්බන්ධයෙන් කෙරෙන පොලිස් විමර්ශන සඳහා හමුදාවේ ඉහළ නිලධාරීන්ගෙන් අවශ්‍ය තරම් සහයෝගය නොලැබීම සම්බන්ධයෙන් ද මේ වන විට ගැටලූකාරී තත්ත්වයක් මතු වී තිබේ.

කෙසේ නමුත් මේ අභිරහස ඉක්මනින්ම විසඳා ගැනීමට හැකි වනු ඇති බව ඔවුන්ගේ මතය වී ඇත. අවි ජාවාරම්කරුවන් මේ පිටුපස සිටී යන සැක සහිතභාවය නිසා පසුගිය යුද සමයේ දී මෙරටට අවි ආයුධ ගෙන්වනු ලැබූ ව්‍යාපාරිකයන් සහ එම කටයුතු සඳහා හවුල් වූ ආරක්ෂක අංශ නිලධාරීන් මෙන්ම ලංකා ලොජිස්ටික් සමාගමේ ගනුදෙනු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට ද පොලීසිය කටයුතු කරමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. විශේෂයෙන්ම මෙම සම්බන්ධතා ජාලය අතර හුවමාරු වූ දුරකථන ඇමැතුම් කෙරෙහි වැඩි අවධානයක් මේ වන විටත් යොමුව ඇතැයි දැන ගැනීමට ඇත. 

සාලාව ගබඩාව පිපිරී යාම නිසා භාවිතයට ගත හැකිව තිබූ වෙඩි උණ්ඩ ටොන් දහස් ගණනක් විනාශ වී ඇත. එම අඩුව පිරැවීම සඳහා අලූතෙන් වෙඩි උණ්ඩ සහ අනෙක් උපකරණ විදේශයන්ගෙන් ආනයනය කිරීමට සිදුව ඇත. එමෙන්ම අවි සහ උණ්ඩ ගබඩා කිරීම සඳහා නව ගබඩා පිහිටුවන්නේ නම් ඊට අදාළ තාක්ෂණික මෙවලම් ද විදේශයන්ගෙන් ගෙන්වා ගැනීමට සිදු වනු ඇත. පසුගිය යුද සමය අවසන් වූ 2009 වසරෙන් පසුව මෙරටට තොග වශයෙන් ආයුධ ගෙන්වීම නතර වීම නිසා එම ව්‍යාපාරයෙන් බිලියන් ගණනින් ලාබ ඉපැයූ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේ ආදායම් අහිමිව ගොස් ඇත. යුද්ධයක් නොමැති තත්ත්වයක් තුළ අවි ආයුධවල අවශ්‍යතාවක් නොමැති නමුත් මෙලෙස පිපිරීමකින් විශාල අවි තොගයක් අහිමි වීම මත නැවත වතාවක් එම ව්‍යාපාරිකයන්ට අදාළ ව්‍යාපාරයෙහි යෙදීමේ අවස්ථාව නිතැතින්ම හිමිවේ. මෙලෙස අහිමි වූ උණ්ඩ තොගයේ වටිනාකම රුපියල් බිලියන සියයක් පමණ වන බවට මේ වන විට අනුමාන වශයෙන් තක්සේරු කර ඇත.

ඒ කෙසේ නමුත් යුද හමුදා ආරංචි මාර්ග පවසන්නේ අහිමි වූ උණ්ඩ තොගය වෙනුවට දැනට අලූතෙන් උණ්ඩ මිලදී ගැනීමක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය. මේ වන විට යුද වාතාවරණයක් නොමැති නිසාත් යුද හමුදා සෙබළුන්ගේ පුහුණු වීම සඳහා ඇති තරම් අවි සහ උණ්ඩ යුද හමුදාව සතුව තිබීමත් නිසා හදිසි මිලදී ගැනීමක් අවශ්‍ය නොවන බව එම නිලධාරීහු පෙන්වා දෙති.

- සුභාෂ් ජයවර්ධන
SathHandha

Share on Google Plus