ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩු විරෝධී කණ්ඩායමට.




පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ශ්‍රීලනිප ආණ්ඩු විරෝධී කණ්ඩායම ලෙස ඉදිරියේදී පෙනී සිටීමට මේ වන විට සැලසුම් කැර ඇත.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා එම මන්ත්‍රී කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 51 දෙනකු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අතර ඉන් 41 දෙනකු ශ්‍රිලනිපය නියෝජනය කරනු ලබයි.

මෙහි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ නායකත්වය මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දරනු ලබන අතර  ශ්‍රීලනිපයේ ප්‍රසන්න රණතුංග මහතා එහි කැඳවුම්කරු ලෙස කටයුතු කරයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුනට අමතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කෙරේ.

ආණ්ඩු විරෝධී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ලෙස පෙනී සිටින පාර්ශ්වය ඉදිරියේදී වෙනම මාධ්‍ය හමු පැවැත්වීමට ද තීරණය කැර ඇති අතර එහි පළමු මාධ්‍ය හමුව ඉදිරි සතියේදී පැවැත්වීමටත් හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඒ සඳහා සහභාගී කැරවීමටත් එම කණ්ඩායම තීරණය කැර ඇත.

මේ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කළේ ආණ්ඩු විරෝධී කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හට ජනතාවගෙන් හා පාක්ෂිකයන්ගෙන් දැඩි ඉල්ලුමක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් වන සුදුසුම විකල්පයට යාමේ දේශපාලන තීන්දුවක් ගැනීමට ඉදිරියේදී සිදුවනු ඇති බවත් කීය.

ඒ අනුව ශ්‍රීලනිපයේ අනන්‍යතාව හා පාක්ෂික ඉල්ලුමටද මුල්තැන දෙමින් ඕනෑම ක්‍රියාමාර්ගයකට පිවිසිය හැකි බවද රඹුක්වැල්ල මහතා පැවසීය. 

Share on Google Plus