කසල තේ ජාවාරම්කරුවන්ගෙන් අනුර සේනානායක කප්පම් ගත් හැටි.


අනුර සේනානායක නම් වූ, දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන, හිටපු තක්කඩි පොලිස් නිළධාරියා රාජපක්ෂ රෙජීමය සමයේ සිදුකළ තවත් දූෂණයක තොරතුරු ලබාදෙන බවට පාඨක ඔබට කළ පොරොන්දුව ප්‍රකාරව එහි තතු මෙසේ හෙළි කරන්නෙමු. 

2009 වසරේ දෙසැම්බර් 03 වැනිදා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) උප පොලිස් පරීක්ෂක ධර්මප්‍රිය වෙත කසල තේ ජාවාරම්කරුවන්ගෙන් එක්තරා කණ්ඩායමක් කප්පම් ඉල්ලා දිගින් දිගටම කරදර කරන බවත් එසේ නොදුනහොත් අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කරන බැව් දන්වා තිබේ.

එම තොරතුර මත ක්‍රියාත්මක වූ STF උප පොලිස් පරීක්ෂක ධර්මප්‍රිය ඇතුළු කණ්ඩායමක් උපාය දූතයෙක් සමග එම ස්ථානයට ගොස් තිබේ. උපාය දූතයා ලවා කප්පම් කල්ලියට කප්පම් දෙනවාත් සමග ඔවුන් පැමිණි රථය ද සමග එහි සිටි පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට STF නිළධාරීන්ට හැකිවී ඇත.

මෙසේ අත්අඩංගුවට පත්වී ඇත්තේ රත්නායක මුදියන්සේලාගේ නිශාන්ත, පාරම්බගේ තිලක් පුෂ්පකුමාර, ලියන්වලගේ මාලිංග ප්‍රභාත් සහ ඉන්දික සුරේෂ් ඇන්තනි ද සිල්වා යන අයවලුන්ය. මෙම ඉන්දික සුරේෂ් ඇන්තනි ද සිල්වා අනුර සේනානායකගේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකි.

අත්අඩංගුවට පත් පුද්ගලයන් පරීක්ෂා කිරීමේදී උප පොලිස් පරීක්ෂක ඉන්දික සුරේෂ් ඇන්තනි ද සිල්වා සතුව පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 12 ක් සොයාගැනීමට හැකි වී තිබේ. මෙම පිස්තෝලය කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි නැමැත්තෙකුගේ බව හෙළිවී තිබේ. උ.පො. පරීක්ෂක ප්‍රේමසිරි යනු අනුර සේනානායකගේ හොඳම ගෝලයෙක් බව පොලීසියේ කවුරුත් දනී.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. එවක එම දෙපාර්තමේන්තුව භාරව සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාය. ඔහු මෙම පුද්ගලයන් හදිසි නීති රෙගුලාසි යටතේ සති දෙකක කාලයක් රඳවා ගනිමින් පරීක්ෂණ පවත්වා තිබේ.

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බී-2096/1/2009 යටතේ කරුණු වාර්තා කොට තිබිණි.

තමන්ගේ ගෝලයන් අත්අඩංගුවට පත්වීමෙන් භීතියට පත් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වහාම ගොස් එවක පොලිස්පති මහින්ද බාලසූරිය හමුවී හඬාවැටෙමින් තම ගෝලයන් නිදහස් කරන ලෙස බැගෑපත් වී තිබේ.

නමුත් පොලිස්පති මහින්ද බාලසූරිය අනුර සේනානායකට පවසා ඇත්තේ 'මේක සෙකට්‍රිගෙ (ගෝඨාභය රාජපක්ෂ) වැඩක්. මේකට අතදාලා අත පුච්චගන්න මට බෑ. සෙකට්‍රි මටත් පුද්ගලිකවම කිව්වා මේ කසල තේ මාෆියාව සුද්ද කරලා දාන්න කියලා. තමුසෙ කරලා තියෙන්නේ උන්ව සුද්දෙදාන එක. තමුසෙට පුලුවන්නං සෙකට්‍රිව ෂේප් කරගන්නවා. ඒ ඇරෙන්න මට වෙන දෙයක් කරන්න බෑ' කියාය.

ඉන් පසු කෙසේ හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවී ඇති අනුර සේනානායක 'කසල තේකාරයන්ව අල්ලන්න යවපු මගේ කොල්ලන්ට උන් බලෙන් සල්ලි දීලා STF එකත් හවුල් කරගෙන' යනුවෙන් බොරුවක් ගොතා ආරක්ෂක ලේකම්වරයාව අන්දවා තිබේ. අනුර සේනානායක පිළිබඳව මහත් විශ්වාසයක් තබා සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට නියෝග කර ඇත්තේ අත්අඩංගුවට පත් පුද්ගලයන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව රහස් පොලීසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කරමින් පවසා ඇත්තේ වැඩිදුර විමර්ශනයේදී වරදක් අනාවරණය නොවූ බැවින් සැකකරුවන් ඇපමත නිදහස් කරන ලෙසයි. ඒ අනුව 2009 සිට මේ දක්වා අදාල නඩුව බහාතැබීමට අධිකරණය කටයුතු කර තිබේ. අත්අඩංගුවට ගත් සියලුම පුද්ගලයන් මේ වනවිටත් සක්‍රීය සේවයේ නියුතුව සිටී.

Share on Google Plus