අනුර සේනානායක පාපොච්චාරණයකට ලෑස්තියි.


රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අපරාධ නඩු විධි විධාන පනතේ 127 වගන්තිය යටතේ මහෙස්ත‍්‍රාත්වරයාගේ නිල කාමරය තුළ දී ස්වයං අපරාධෝච්චාරණයක් කිරීමට කැමැත්ත පළ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් පසුගිය දින කිහිපය තුළ සේනානායක මහතා තමාව රැක ගැනීම සඳහා තමන් සේවය කළ පාර්ශ්වයන්ගෙන් යම් උපකාරයක් ලැබෙතැයි බලාපොරොත්තුවෙන් පසුවූවත් ඒ සිදු නොවීම මත තමාගේ අඹුදරුවන්ගේ අනාගතය ගැන කල්පනා කර තමන් දන්නා සියල්ල හෙළි කිරීමට ඔහු තීරණය කර ඇති බව ඔහුගේ හිතවතුන් පවසා සිටී.

අනුර සේනානායක මහතාට ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ වාට්ටුවක නැවතීම සඳහා අවස්ථාව උදා වූයේ ද ස්වයං පාපොච්චාරණයකට ඔහු කැමැත්ත පළ කිරීමෙන් පසුව බවත් දැන ගැනීමට ලැබී තිබේ.

මෙයට පෙර මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක සුමිත් චම්පිකා පෙරේරා 127 වගන්තිය යටතේ පාපොච්චාරණයක් සිදු කර තිබිණි.

Share on Google Plus