නයාට අදුකොළ පෙනීම හෙවත් මහ බැංකු කෝලමේ මීළග ජවනිකාව.


ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ පළමු ධුර කාලය ජුනි මස 30 වන දිනයෙන් අවසන් වීමට නියමිතය. එතුමාගේ කාර්යයභාරය තව දුරටත් මෙරට ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීම වෙනුවෙන් අවශ්‍යව තිබෙන නිසා අති බහුතරයක් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම අමාත්‍යවරුන් නැවත සේවා කාලයක් සදහා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාව පත් කිරීමට තම අකමැත්තක් නොමැති බව දන්වා අවසන්ය.

මෙවැනි වාතාවරණයක් තිබියදී අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, අමාත්‍ය එස්.බී.දිසානායක සහ ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා වැනි සීමිත පිරිසක් පමණක් වර්තමාන මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය නැවත දිගු කිරීමට විරෝධතාවයක් පාමින් සිටී.

රාජිත සේනාරත්න,එස්.බී.දිසානායක,බන්දුල ගුණවර්ධන යන නම් තුන සදහන් කළ විගස මෙරට දේශපාලනය ගැන යමක් දන්නා ඕනෑම කෙනෙකුට මතකයට නැගෙන්නේ අවස්ථාවාදී ලෙස දේශපාලන පක්ෂ මාරු කරන ලද කිසිම ස්ථාවර දේශපාලන දැක්මක් නොමැති පුද්ගලයින් තිදෙනෙකුය.වරක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිනියට ප්‍රශස්ති ගී ගයා නැවත චන්ද්‍රිකා එපෝ කියමින් කෑ ගැසූ තිදෙනෙකි.වරක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය තුමාට ප්‍රශස්ති ගී ගයා නැවත රනිල් එපෝ කියමින් කෑ ගැසූ තිදෙනෙකි.මින් රාජිත අමාත්‍යවරායාද එස්.බී අමාත්‍යවරයාද වරෙක මහින්ද රාජපක්ෂ මහතාව බලයට ගෙන ඒමට උත්සාහ දරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ප්‍රශස්ති ගී ගයා දැන් මහින්ද එපෝ කියමින් කෑ ගසයි.එහෙත්,මහින්දගේ ආර්ථික ප්‍රතිපත්තියෙන් සහ ණය උගුලෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට කැපවීම් කරන මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට උදලු දමමින් අවහිර බාධා කරති.

වර්තමාන මහ බැංකු අධිපතිවරයා කිසිදාක දේශපාලනීකරණය නොවූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උගත්කමක් ඇති තීක්ෂණ බුද්ධිමතෙකි.එතුමාට සිංගප්පූරුව මෙන්ම ලෝක පරිමාණ මූල්‍ය සේවා සමාගම් රැසක පළපුරුද්ද සහිත පුද්ගලයෙකි.රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයා කිසිදු දේශපාලන හිතවත්කමක් නොබලා අර්ජුන් මහේන්ද්‍රන් මහතාට මහ බැංකු අධිපති ධුරයට පත් කිරීමට ජනාධිපතිතුමා වෙත නිර්දේශ කරන්නේ අජිත් නිවාඩ් කබ්‍රාල්,බැසිල් රාජපක්ෂ ගජමිතුරුවාදය විසින් ණය උගුලක හිරකර ඇති රටේ ආර්ථිකය ගොඩ ගැනීමට අර්ජුන් මහේන්ද්‍රන් මහතාට තීක්ෂණ බුද්ධියක් ඇති නිසාය.

යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීම සදහා සමහර සිවිල් සංවිධාන කැප වීම් කරේ සද්භාවයෙනි.එහෙත් සමහර බලවේග යම් පටු අරමුණු අතැතිව යහපාලනය දිනවීමට උදවු කර ඇති බව දැන් දැන් සිදුවන සිදුවීම් මත පැහැදිලිය යම් සිවිල් සංවිධානයන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව මාධ්‍ය කැදවා කුලප්පු කිරීම් සිදු කරන්නේ වර්තමාන මහ බැංකු අධිපතිවරයා සිටනතාක් එම සිවිල් සංවිධාන වල යම් පුද්ගලයින්ට රටේ ආර්ථිකය බැසිල් - කබ්‍රාල් යුගයේ මෙන් ගජමිතුරන්ට සූදු පිණිස බදු ගැනීමට නොහැකි වීමේ වේදනාව නිසා බව පැහැදිලිව සදහන් කළයුතුය.

වර්තමාන මහ බැංකු අධිපතිවරයාට එල්ල වී ඇති එකම චෝදනාව වූයේ මහ බැංකු බැදුම්කර වෙන්දේසිය මගින් තම බෑණා කෙනෙකුට අයත් සමාගමක් වෙත චේතනාන්විතව වාසි සැලසුවේය යන චෝදනාව පමණි.නමුත්,එම චෝදනාව රටේ උත්තරීතරම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කර මහ බැංකු අධිපතිට චෝදනා කිරීමට ප්‍රමාණවත් කරුණු සහ සාක්ෂි නොමැති බව දන්වමින් නඩුව නිෂ්ප්‍රභාග කරන ලදි.

ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රධාන පිරිස මේ වන විට මහ බැංකු අධිපතිවරයා දෙමළ ජාතිකයෙකු වීම පිළිබදව පවා ප්‍රශ්න කිරීමට තරම් පහතට වැටී තිබේ.යම් පුද්ගලයෙකු තමා දන්නා ක්ෂේත්‍රයෙහි විශේෂඥ භාවයක් දක්වන්නේනම් ඔහුගේ ජාතිකත්වය සිංහලම විය යුතු යැයි කොන්දේසියක් නැත.

බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ යුගයේදී අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකු අධිපතිවරයා බැදුම්කර නිකුත් කිරීම හොර රහසේම සිදු කරන ලදි.වරෙක ආර්ථිකය කඩා වැටී ඇති ග්‍රීසියේ පවා බැදුම්කර වෙන්දේසියකට යාමට පවා අඥානවන්ත ලෙස හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පියවර ගෙන තිබුණි.එම රජයේ වැදගත්ම අමාත්‍ය ධුර දැරූ රාජිත සේනාරත්න,එස්.බී.දිසානායක,බන්දුල ගුණවර්ධන අමාත්‍ය වරුන්ට ඒ කාලයේ මහ බැංකු බැදුම්කර වලින් බැසිල්-කබ්‍රාල් එකමුතුව සූදු කෙළීමට විරුද්ධව වචනයක් හෝ කතා නොකිරීම පුදුමයක් නොව අවස්ථාවාදී දේශපාලනයේ ස්වභාවයයි.

නමුත්,වර්තමානයේ මහ බැංකු බැදුම්කර නිකුත් කිරීමේදී පූර්ණ විනිවිදභාවයක් ඇත.ඒ බව පුවත්පත් දැන්වීමකින් දැනුවත් කරයි.ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි/ අසාධු ලේඛනයට ඇතුලත් නොවූ ඕනෑම සමාගමකට වෙන්දේසියේදී ලංසු තැබිය හැක.එම ලංසු පරිගණක ගත පද්ධතියක් මාර්ගයෙන් ස්වයංක්‍රීයව සොයා බැලේ කිසිම බාහිර පුදගලයෙකුට බලපෑම් කළ නොහැකිය.මේ වන විට සමාගම් 20පමණ සංඛ්‍යාවක් වෙත අවස්ථාව හිමි වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව තුළ කවරදාකවත් නොවූ අයුරින් තොරතුරු දැන ගැනීමට නිදහසක් ඇත.පූර්ණ විනිවිදභාවයක් ඇත.ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වේ.මෙය ඉවසිය නොහැකි බැසිල් - කබ්‍රාල් යුගයේ ගජමිතුරන් අද වන විට වර්තමාන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාව පන්නා දමා නැවත ශ්‍රී ලංකා මහ බැංකුව සූදු පොළක් බවට පත් කිරීමේ නිරර්ථක උත්සාහයක යෙදීම අරුමයක් නොවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අඩුපාඩු රජයේ රෝහල්වල බෙහෙත් සහ උපකරණ හිගයක් පවතිද්දී ඒවා ගැන සොයා බලා විසදුම් නොදී සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අර්ජුන් මහේන්ද්‍රන් මහතාව පැන්නීමට පුවත්පත් සහ වෙබ් මාධ්‍යවේදීන් දඩයම් කරනයක මේ වන විට යෙදීම ලජ්ජාවට කරුණකි.අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යයභාරය මාධ්‍ය ආයතනවලට සිදු කිරීමට වී තිබියදී අමාත්‍යවරයා කුඩා දරුවකු ලෙස හැසිරීම අතිශයින්ම කණගාටුදායකය.

ජනාධිපතිතුමනි,ඔබ වටා සිටින කුමන්ත්‍රණකරුවන් හදුනා ගෙන කටයුතු කරන්න!

ඉෂාර ලක්මිණ
©Lanka DNA

Share on Google Plus