'මහ බැංකු අධිපති ධුරයේ වෙනසක් නැහැ'



මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සේවා දිගුවක් හිමි වනු ඇති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පවසයි.

මහ බැංකු අධිපතිවරයාගේ නිල ධුර කාලය ජුනි 30 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ නමුත් එම ධුරයේ වෙනසක් සිදු නොවනු ඇති බව ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මහ බැංකු අධිපතිවරයාට අසාධාරණයක් සිදු වී ඇති බව පවසමින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින් මාධ්‍ය හමුවක් කැඳවණු ලැබ තිබුණේ මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිල ධුර කාලය දීර්ඝ නොකරන ලෙස සිවිල් සමාජ කණ්ඩායම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවකදී.

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නිවැරදිකරු බව 2015 වසරේ මැයි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කර තිබියදී ඔහුට දිගින් දිගටම චෝදනා කිරීම සාධාරණ නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෝප් කමිටුව

පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා අගමැතිවරයා විසින් පත් කරන ලද බව සඳහන් විශේෂ කාරක සභාවට කුමක් වූයේ දැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ එම පරීක්ෂණය කෝප් කමිටුව හරහා සිදු වන බවයි.

අර්ජුන මහේන්ද්‍රන් නැවතත් මහ බැංකු අධිපති ධුරයට පත් කරන බවට රජයට සෘජු ප්‍රකාශයක් සිදු කළ නොහැක්කේ ඇයිදැයි මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එම පත්වීම තමන් විසින් සිදු නොකරන නිසා තමන්ට පැවසිය හැක්කේ එම ධුරයේ වෙනසක් නොවන බව පමණක් බවයි.

මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගන්නා තීරණය එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම සඳහා තීරණාත්මක ලෙස බලපානු ඇති බවයි මේ අතර දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබෙන්නේ.

'සංවේදී තොරතුරු'

මේ අතර බැඳුම්කර ගනුදෙනුවට අදාළව සවිස්තර විගණනයක් සකස් කිරීම පිණිස විගණකාධිපතිවරයාට තොරතුරු ලබාදීමේ මැලිකමක් දැක්වීම සම්බන්ධයෙන් කරුණු විමසීම පිණිස පසුගිය බදාදා මහ බැංකු අධිපතිවරයා පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවට කැඳවා තිබුණි.

'සංවේදී තොරතුරු' ලෙසින් විග්‍රහ කරමින් මහ බැංකුව බැඳුම්කර සම්බන්ධ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබූ නමුත් පාර්ලිමේන්තුවට තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවයි කෝප් කමිටුවේ ප්‍රධානී සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පවසා සිටියේ.

පාර්ලිමේන්තුවට කැඳවා තදින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ලබන 15 වැනි දිනට ප්‍රථම එම තොරතුරු විගණකාධිපතිවරයාට ලබාදීමට මහ බැංකු අධිපතිවරයා එකඟ වූ බව හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය


BBC


Share on Google Plus