විශ්වාසභංගය 2/3න් පරාජය කිරීමට සූදානම්.


2016 අයවැය ලේඛනය පාර්ලිමේන්තුව හා මහජනතාව නොමඟ යවා සම්මත කිරීමත්, එකී අයවැය ලේඛනය හුදු ප්‍රලාපයක්‌ බවට පත්කිරීමත් ඇතුළු චෝදනා කිහිපයක්‌ යටතේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායමක්‌ විසින් මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව  අද (08 දා) දිනයේ ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පරාජය කළ යුතු බවට ආණ්‌ඩුව තීරණය කර ඇත.

ඒ සඳහා ආණ්‌ඩුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂ විශ්වාසභංගයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කීය.

මුදල් ඇමැතිවරයාට එරෙහිව විපක්‍ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව පරාජය කොට ආණ්‌ඩුවේ ශක්‌තිය ප්‍රදර්ශනය කරන බව පැවසූ ඇමැතිවරයා, ආණ්‌ඩු පක්‍ෂයේ සියලු මැති ඇමැතිවරුන්ට අද (08 දා) පාර්ලිමේන්තු පැමිණෙන ලෙස දැන්වූ බවද වැඩිදුරටත් පැවසීය.

මේ අතර,  විපක්‍ෂයේ සිටින එජනිස මන්ත්‍රීවරුන්ට එම කණ්‌ඩායමේ ප්‍රධානීන් විසින් අද දවසේ පැමිණීම අනිවාර්ය කර තිබේ.

ඡන්දය ප්‍රකාශ කිරීම 6.30ට :

දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු විපක්‍ෂයේ සිටින එජනිස මන්ත්‍රීවරුන් තිස්‌පස්‌දෙනකු විසින් රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත මීට මාස කීපයකට පෙර භාර දෙන ලදී.

ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව අද පෙරවරු 9.30 සිට පස්‌වරු 6.30 දක්‌වා විවාද කිරීමට නියමිතය. 

පස්‌වරු 6.30 ට මුදල් ඇමැති රවි කරුණානායක මහතා කෙරෙහි විශ්වාසය ඇති බවට හෝ නැති බවට මන්ත්‍රීවරුන් විසින් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවේ.

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ විපක්‍ෂයේ එජනිස මන්ත්‍රී කණ්‌ඩායම සමඟ එක්‌ව ඊට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කරන බව ජනතා විමුක්‌ති පෙරමුණ ප්‍රකාශ කර තිබිණි. 

එහෙත් විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රමුඛ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් දහසය දෙනා විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දෙනවාද නැද්ද යන්න අවසන් මොහොතේදී තීරණය කරන බව ප්‍රකාශ කර තිබිණි.

Share on Google Plus