අර්ජුන මිලියන 1500ක් ඉල්ලයි.


ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බේරේ වැව වඩු කාර්මික අංගණයේ සිදු කරමින් තිබූ ලී භාණ්ඩ නිෂ්පාදනය පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කරමින් තමන්ට සිදු කළ අපහාසය පිළිබඳ වරාය අධිකාරියේ වෘත්තිය සමිති නායකයන් තිදෙනකුට එරෙහිව සිවිල් නඩු පවරමින් එම තිදෙනාගෙන් රුපියල් මිලියන 1500ක මුදලක් ඉල්ලා වරාය හා නාවික කටයුතු පිළිබඳ ඇමැති අර්ජුන රණතුංග මහතා එන්තරවාසි යවා ඇත.

වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ, වරාය ජාතික සේවක සංගමයේ සභාපති උදේනි කළුතන්ත්‍රි සහ වරාය ස්වාධීන සේවක සංගමයේ සභාපති ලාල් බංගමුවගේ යන පුද්ගලයන්ගෙන් එම මුදල් අය කර ගැනීමට ඇමැතිවරයා මෙලෙස කටයුතු කර ඇත.

අමූලික අසත්‍ය ප්‍රකාශ කරමින් තමන්ට සිදු කරන ලද අපහාසය වෙනුවෙන් දැනටමත් සිවිල් නඩු පැවරීමට නීතිඥවරුන්ට පවරා ඇති බව පවසන ඇමැතිවරයා දූෂණය හා හොරකම් නවත්වන්නට කටයුතු කරද්දී මේ හොරකම් සිදු කළ පුද්ගලයන්ට දිරි දී ඇති බවත් ඉදිරියේ දී මේ පුද්ගලයන් තිදෙනා කළ දූෂණ සහ සොරකම් සම්බන්ධයෙන් හෙළි කරන්නට තමා කටයුතු කරන බවත් පවසයි. ඇමැති රණතුංග මහතා ඊයේ (19) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව කියා සිටි අතර එහි දී ඇමැතිවරයා මෙසේද කියා සිටියේය.

‍වරාය වෘත්තිය සමිති එකමුතුව නමින් වෘත්තිය සමිතියක් නැහැ. මේ අය වෘත්තිය සමිති නායකයන් නෙවෙයි. හොරකම් දුෂණය නවත්වන්නයි අපි කටයුතු කරන්නේ. හොරකම් දුෂණය නිසයි පසුගිය රජය පෙරලුනේ. මම වැරදි කර තිබෙනවා නම් මේ අයට පොලිසියට එෆ් සී අයි ඩී යට යන්න තිබුණා. මම සහ වරාය සභාපතිවරයා එක්ව සොරකම් නවතා තිබෙනවා. හොරකම් නවත්වන විට ඒ අයට රිදෙනවා. මේ වඩු මඩුවේ හදන භාණ්ඩ අන්තඃපුරයක් සඳහා හදන භාණ්ඩ බවට චෝදනා කර තිබෙනවා. මම ශ්‍රී ලංකාවේ නොසිටි අවස්ථාවකයි මට චෝදනා කර තිබෙන්නේ. මේ භාණ්ඩ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනවා. ඒවා එළියට ගිහින් තිබෙනවාද කියා සොයා බලනවා. වරාය සේවකයන්ගේ ප්‍රශ්න සම්බන්ධව අගමැතිවරයා සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධ වාර්තාව කම්කරු ඇමැතිවරයාට යොමු කර තිබෙනවා.

කළ හැකි දේ සහ කළ නොහැකි දේ ඒ අතර තිබෙනවා. මේ වන විට සේවකයන්ට අවශ්‍ය සියලු පහසුකම් අපි ලබා දී තිබෙනවා. නිවාඩු කාමර පවා වායු සමනය කරදී තිබෙනවා. ආයුර්වේද මධ්‍යස්ථානයෙන් බෙහෙත් ගන්න දහසක් පමණ සේවකයන් ලියාපදිංචි වී සිටිනවා. සේවකයන් රුපියල් 75000ක් 100000ක් අතර වැටුප් ලබා ගන්නවා. හොරකම් කරන අය රුපියල් ලක්ෂ එක හමාරක් දෙකහමාරක් පමණ ලබා ගන්නවා. ඒවා නැවතුනාම මේ අයට මා සමඟ වෛරයක් ඇති වීම ස්වභාවිකයි. මේ ප්‍රධාන තිදෙනා ඔවුන්ගේ චෝදනා නවත්වන්න කියලායී මේ අපහාස කරන්නේ. මම මාධ්‍යයටත් වගකීමෙන් කියනවා චෝදනාවක් කරනවා නම් සොයා බලා සිදු කරන්න කියලා. මගේ අම්මා, දරුවන්ට පවුලට චරිත ඝාතන සිදු කරන්න එපා. මගේ මව ගුරුවරියක් දරුවන් ගනනාවකට උගන්වපු කෙනෙක්. ඇය රුපියල් ලක්ෂ දෙකක වැටුප් ගන්නා බවට චෝදනා කර තිබුණා. මේ චෝදනා සිදු කරන විට අනෙක් පාර්ශ්වය ගැනත් සිතා බලන්න කියා මා මාධ්‍යයට කියනවා.

මේ අවස්ථාවට වරාය අධිකාරියේ අධ්‍යක්ෂ නීතිඥ අතුල බණ්ඩාර හේරත්, අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් සහවරයා අධිකාරියේ නීති උපදේශක නීතිඥ ප්‍රසාද් සිරිවර්ධන යන මහත්වරුන් ද එක්ව සිටියහ.

Share on Google Plus