හැංගි හැංගි බැන්දලූ වෙස් මුහුණූ - ගැලෙව්වාම ඉන්නෙ කබ්රාල් ලූ



කතාව කිතුලෙන්ම පටන් ගන්නවා නම් කිතුලට නැගපු මිනිහා හොරෙන් රා බොන්න ගොස් හසුවූවොත් අත්වන ඉරණම හොඳින් දනී. නැතිනම් ‘මාට්ටු උනොත් ගුටි ෂුවර්’ බව නොදන්නා දෙයක් නොවේ. ගහට නගින්නේම ඒ ගැන දැනුවත්වය. එහෙත් ඒ දැනුවත්කම සේම ඔහුට රා බීමේ අපේක්ෂාව ද වෙයි. වඩාත් සරලව අපට එම කාරණය මෙසේ තේරුම් ගන්නට පුළුවන.

"මිනිහට රා බොන්න ඕන. හොරෙන් රා බොන්න ගියවිට ගුටි කෑමට නියමිත බව ඔහු දන්නවා. නමුත් ඔහු හොරෙන් රා බොන්න ගහට නගිනවා. ඒ කියන්නෙ තමාගේ අපේක්ෂාව සහ යථාර්ථය අතර යම් පරතරයක් ඔහු නඩත්තු කරනවා. (අහුවෙයිද, හන්දි කැඩෙන්න ගුටි ලැබෙයිද සිතමින් ඔහු රා බොනවා. පසුව ඔහු ගහේ අයිතිකාරයාට හසුවූ විට ‘තණකොළ ටිකක් කපාගන්න ගියා’ කියනවා. ඔහු හොරා කෑවා මදිවට බොරුත් කියනවා. මේක ඉතා දැනුවත්ව කරන දෙයක් නිසා එවැනි කෙනෙක්ගෙන් සදාචාරය ප‍්‍රශ්න කරලා තේරුමක් නෑ. මොකද එයාට එහෙම දෙයක් නැති නිසා."

අපට අනුව නම් මහ බැංකු අධිපතිට එරෙහිව මේ මොහොතේ මාරාන්තික ලෙස පෙනී සිටින උදවිය සිදු කරමින් සිටින්නේ එවැනිම කටයුත්තක්ය. එක් අතකින් "කෝ අල්ලනවා කියපු හොරු?" යනුවෙන් මේ වන විටත් නැගෙමින් ඇති ප‍්‍රශ්නය ආණ්ඩුවේ දේශපාලන විශ්වාසය බිඳ දමන මුල්ලූවක්ව පවතී. එය ආණ්ඩුව හොඳින්ම දන්නා කාරණයක් ද වෙයි. අනෙක් අතට අල්ලනවා කියූ හොරු අල්ලන්නට ද ආණ්ඩුවට නොහැකිව ඇත. වඩාත් නිවැරැදිව කියනවා නම් ආණ්ඩුව මේ මොහොතේ සිදු කරන්නේ හොරු අල්ලන බව පෙන්වමින් හොරු අල්ලන්නේ නැතිව සිටීමය. ඒ ආණ්ඩුව තුළ තමන්ගේ පංගුව රැක ගන්නටය. නැතිනම් අනාගත දේශපාලන ගේම් සහ ඩීල් වෙනුවෙන් හොරු එළියේ තබා ගැනීම ආණ්ඩුවට වැදගත්ය. එසේම එවැනි යෝජිත ගේම් සහ ඩීල් ජනතාවට දුන් පොරොන්දු කඩ කිරීමකි. ඒ බව ආණ්ඩුව හොඳින් දනී. ඒ පසුබිමේ තමන් කොච්චර පිරිසිදුද යන්න ආණ්ඩුව ඔප්පු කරන්නට යන්නේ සිය පාලන සමයේ දූෂණ චෝදනා ලැබූ නමුත් අධිකරණය ම`ගින් නිදොස් කොට නිදහස් කළ ප‍්‍රධාන රාජ්‍ය නිලධාරියෙකු ගෙදර යැවීම හරහාය. ඉතින් හොරෙන් රා බොන්න ගිය මිනිහා සහ හොරු අල්ලනවා කියා පැමිණි වත්මන් ආණ්ඩුව අතර වැඩි වෙනසක් නැත.ඊට කදිම නිදර්ශනය නම් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ය. 

වත්මන් මහ බැංකු අධිපතිට සහ කබ්රාල්ට ඇති චෝදනා ඇසුරෙන් අපි කියන්නේ මොකක්ද යන්න පැහැදිලි කිරීමට හැම අතින්ම යෝග්‍යය.
වර්තමානයේ විවාදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනුවෙන්ම කබ්රාල් ජාතක කතා වස්තුව අරඹනවා නම් මහින්ද රාජපක්ෂ රාජ්‍ය විමසන සමයේ කබ්රාල් මහ බැංකුවේ අධිපති ලෙස සිටිමින් බැඳුම්කර නිකුත් කළේය. 30 අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කරවලින් සිහිපත් කරනවා නම් 2013 මැයි 30, 2013 ජුනි 13, 2013 ජූලි 30 නිකුත් කර තිබෙන එම භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් 12.50%ක් පොලී ගෙවා ඇත. ඒ බැඳුම්කර තුන හරහා ගත් ණය ප‍්‍රමාණය රු. බිලියන 18.5ක්ය. වත්මන් මහ බැංකු අධිපතිවරයා වසර 30කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කරවලට ගෙවූ පොලිය ඉහළ බව කියන ඊනියා දූෂණ විරෝධීන් මේ වෙනුවෙන් කබ්රාල් ගෙවූ පොලිය සොයා බැලූවාද? නැත. මැතිවරණ සමයෙන් පසුව ඔවුන්ට ඒ අමතක වී ඇති ගානය. සැබැවින්ම කබ්රාල්ගේ කාලයේ දින 91න්, 182න් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත්වලට පවා 12% ක පමණ පොලී ගෙවා ඇත.

http://www.cbsl.gov.lk/htm/english/_cei/ir/i_3.asp@date=&Mode=2&Page=6k/htm/english/_cei/ir/i_3.asp?date-&Mode-2&Page-7 යන වෙබ් පිටුවලට ගියානම් මේ බව පැහැදිලිව දැක ගන්නට පුළුවන.

ඒ පසුබිමේ ඉළ ඇදී කන් පැළෙන කතාව නම් වත්මන් මහ බැංකු අධිපතිගේ පළමු බැඳුම්කර නිකුතුවෙන් සිදු වූ පාඩුව පමණක් කෝටි 6480ක් බවට කබ්රාල් මහතා ගණන් බලා මාධ්‍ය වෙත පවසා සිටීමය. මේ හමුවේ අප අවධාරණය කරන්නේ ඒ ගණනය කිරීමේ ක‍්‍රමයට ඔහුගේ සමයේ සිදු කළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ පාඩු ගණනය කර රටට කියන ලෙසය. එවිට ප‍්‍රශ්නය ඇත්තේ අර්ජුනගේ නොවන බවට අප කරන තර්කය කොතරම් නිවැරැදිද යන්න වටහාගත හැකිවනු ඇත.

අද අර්ජුන්ගේ විශ්වාසය ප‍්‍රශ්න කරන උදවිය ගෙනෙන තවත් තර්කයක් ඇත. ඒ පර්පෙචුවල් ට‍්‍රෂෙරීස් සමාගම හා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් අතර සම්බන්ධයයි. මේ උදවියට එහි දී එම සමාගම හා කබ්රාල්ගේ සොයුරිය අතර තිබුණු සම්බන්ධය අමතක වී ඇත. ඇය පර්පෙචුවල් ට‍්‍රෂෙරීස්හි අධ්‍යක්ෂිකාවක වන අතර එම සමාගමට ප‍්‍රාථමික අලෙවිකරුවකු ලෙස බලපත‍්‍රය ලැබුණේ ද කබ්රාල්ගේ සමයේය.

කබ්රාල් ජාතකය එතැනින් ද නිමා වන්නේ නැත. එහි බැඳුම්කර කොටස තවත් ඉදිරියට ඇත. 2013 මැයි 30 සිට මහ බැංකු අධිපති ලෙස කබ්රාල්ගේ මෙහෙයවීමෙන් වසර 30කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් තුළ පෙර ඉදිරිපත් කරන ලද වටිනාකමට වඩා බැඳුම්කර නිකුත් කළ අවස්ථා දෙකක් ඇත. එයින් 2013 මැයි 30 දා නිකුත් කළ බැඳුම්කර නිකුතුවේ දී රුපියල් බිලියන දෙකක් වෙනුවෙන් මිල ගණන් කැඳවා බිලියන තුනක් ණයට ගෙන ඇත.

ඉතින් ඒ ගැන විමර්ශනය කළ යුතු නොවේද? කබ්රාල් බොහෝවිට ගනුදෙනු සිදුකර තිබෙන්නේ පෞද්ගලික නිකුතුන් හරහාය. එනම් වෙන්දේසි ක‍්‍රමය ඔහු බොහෝ විට අනුගමනය කර නැත. මේ අයුරින් 2014 දී සමස්ත පෞද්ගලික නිකුතු හරහා ඔහු ලබාගත් ණය ප‍්‍රමාණය රුපියල් මිලියන 552,250 කි. එම මුදලින් 75 % ක් පමණම ලබාගෙන ඇත්තේ රාජ්‍ය බැංකු හා EPF අරමුදලිනි.

මෙයින් ඔහු දූෂණය කළේ මහ බැංකුව පමණක් නොවේය. රටේ මූල්‍ය පද්ධතියම ඒ තුළ දූෂණය විය. ඒ බව තේරුම් ගැනීමට නම් පෞද්ගලික නිකුතුවක සහ වෙන්දේසි ක‍්‍රමයක ඇති වෙනස තේරුම්ගත යුතුය.

පිළිගත් මතය අනුව බැඳුම්කර නිකුතුවක දී වඩාත් විනිවිදින ක‍්‍රමය වන්නේ වෙන්දේසි ක‍්‍රමයයි. එහිදී අනුගමනය කරන්නේ ටෙන්ඩර් පටිපාටියක් වන අතර ගැනුම්කරුවන්ට වෙළෙඳපොළ පොලී අනුපාත සසඳා තම ලන්සු ඉදිරිපත් කිරීමට හැකිය. වෙන්දේසිය අවසන් වූ පසු තීරණ ගැනෙන්නේ ටෙන්ඩර් මණ්ඩලය මඟින් වන අතර ඊට මහ බැංකුවේ ආර්ථික විශේෂඥයන් සහභාගී වේ. එසේම ඊට මහ බැංකු අධිපති අයත් නැත. නමුත් පෞද්ගලික නිකුතුවක දී පාර්ශ්ව දෙකක් පමණක් ගනුදෙනුවට සහභාගි වන අතර තම අභිමතය පරිදි තීන්දු තීරණ ගන්නට පාර්ශ්ව දෙකට අවස්ථාව හිමි වේ. මහ බැංකුවේ අධිපතිට තම අභිමතය පරිදි මත තීරණ ගැනීමට අවස්ථාව හිමිවන්නේ ද මෙහිදීය. පෞද්ගලික හිතවත්කම් රුචි අරුචිකම් මත තීන්දු ගැනෙන්නේ මෙතැනය. ඒ අනුව එසමයේ සිදු වූ මේ ගනුදෙනු ගැන පළමුව සොයා බැලිය යුතු නොවේද?

භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කළ ලං.වි.ම අර්ථසාධක අරමුදල් රුපියල් බිලියන 03ක් අතුරුදන් වීම සම්බන්ධයෙන් කබ්රාල් වගකිවයුතු නැතිද? 2009 දී ලං.වි.ම අර්ථසාධක අරමුදල් ලෙස රැස්ව තිබූ මුදලින් පෞද්ගලික සමාගමක් හරහා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කර තිබූ රුපියල් 2,959,267,568 ක් වූ මුදල තුළ අක‍්‍රමිකතා නොමැතිද?

එන්ට‍්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී වෙත කබ්රාල් දැක්වූ කරුණාව ගැන සෙවිය යුතු නැතිද? ආයතනයට විදුලිබල සේවකයින්ගේ අරමුදල් යෙදවූයේ කවුද? ඒ තුළ මහ දවාලේ සිදු වූ මූල්‍ය අක‍්‍රමිකතා කබ්රාල් දුටුවේ නැද්ද? එදා එන්ට‍්‍රස්ට් ලා ඒ මුදල් අනුග‍්‍රාහක මුදල් ලෙස පෙරළා රාජපක්ෂ කුමාරයන්ට පිරිනැමුවේ නැද්ද? ඒවායේ ඉහළ නිලතල ඉසිලූ අය අද ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු නොකරයිද? මේවා වහා විමර්ශනය කළ යුතු දූෂණ නොවේද?

එපමණක් නොව හයත් (Hyatt) ගනුදෙනුව නමින් කුප‍්‍රකට ගනුදෙනුව ගැන ද අද ඊනියා දූෂණ විරෝධීන් අමතක කර ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකුව තමන්ට හිමි කාර්යභාරයෙන් ඔබ්බට ගොස් සිදු කළ බවට එවකට මත පැතිර ගිය මෙම ගනුදෙනුව රුපියල් බිලියන 5ක ආයෝජනයක් වූ අතර ඒ සඳහා යොදාගෙන තිබුණේ සේවක අර්ථසාධක අරමුදලේ මුදල්ය.

තවද මහ බැංකුවේ සංඛ්‍යා දත්ත වෙනස් කළ බවට ද කබ්රාල් චෝදනා ලබා ඇත. ඒ හරහා බැංකුව ලැබූ අලාභ සඟවා ඇති බවට විගණන වාර්තා තහවුරු කළ බව එසමයේ මැතිවරණ වේදිකාවේ කියනවා අසන්නට ලැබිණ. එහි දී වැඩිදුරටත් අනාවරණය කර තිබුණේ 2012 දී රුපියල් මිලියන 66,704 ක ලාභයක් ලැබූ බැංකුව 2013 අවසන් වන විට රුපියල් මිලියන 38,761 ක අලාභයක් ලබා තිබූ බවය. එසේම 2013 සහ 2014 වසරවල දී බැංකුව රුපියල් මිලියන 71,070 ක අලාභයක් ලබා තිබූ නමුත් එම තත්ත්වය වසන් කරමින් මහා භාණ්ඩාගාරයට ලාභාංශ ගෙවීම් වශයෙන් රුපියල් මිලියන 33,500ක් එම දෙවසර තුළ ගෙවා ඇති බවට සඳහන් විගණන වාර්තා තහවුරු කළ බව ද වාර්තා විය.

අද බොහෝ දෙනකුට අමතක වුවත් සැකකටයුතු අතරමැදියන් කණ්ඩායමක් හරහා රන් මෙටි‍්‍රක් ටොන් 40ක් ශ‍්‍රී ලංකාවේ තිබෙන ජපන් සමාගමක් වන සීමාසහිත Japuda Holdings සමාගම හරහා ජපානයේ සීමාසහිත SUISSE SECURITIES සමාගමට විකිණීම සම්බන්ධව ද කබ්රාල්ට චෝදනා ඇත.

කැබිනට් අනුමැතියකින් තොරව මහ බැංකු අධිපතිවරයා ලෙස අත්සන් කර ඩොමිනික් ස්ට‍්‍රස්වුස්කාන් සමඟ ඇති කරගත් ගිවිසුමත් ඒ මත ඩොමිනික් ස්ට‍්‍රස්වුස්කාන්ගේ ලිංගික අපචාර නඩුවේ නීතිඥයින්ට මුදල් ගෙවීමට මහ බැංකුව කටයුතු කළ බවට ඒ සමයේ හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා එල්ල කළ චෝදනාව ද අදටත් වලංගුව පවතී. එසේ මුදල් ගෙව්වා නම් ඒ කබ්රාල්ගේ අම්මා මුත්තාගේ මුදල් නොව ඒ රටේ ජනතාවගේ මුදල්ය. කරුමය නම් යහපාලනය මේවා වෙනුවෙන් ජනාධිපතිට ලියූ උදවියට අමතක වීමය. මීට අමතරව FCID මඟින් විමර්ශන සිදුකර අවසන් කළ වාර්තා 40 තුළ ද කබ්රාල් සිටියි. ඒ 2011 වසරේ හඳුන්වා දුන් පාඩු ලබන ව්‍යාපාර පවරා ගැනීමේ නීතිය යටතේ කැබිනට් මණ්ඩලය නොමඟ යවා ‘සෙලින්කෝ හෙල්ස්මියර්’ නම් ව්‍යාපාරය පවරාගෙන එහි සින්ක් ලංකා නමින් හෝටල් ව්‍යාපෘතියක් පවත්වාගෙන යාම, හෙජින් ගනුදෙනුව හරහා රුපියල් මිලියන 200-700ත් අතර මුදලක් වංචා කිරීම, රුපියල් මිලියන 1,257ක් වටිනා ග‍්‍රීක බැඳුම්කර මිලට ගැනීමය.

මෙහි දී කබ්රාල්ගේ ග‍්‍රීක බැඳුම්කර මිලට ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුව ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකුව ඒ අනුව යමින් ග‍්‍රීක රාජ්‍යයේ බැඳුම්කර මත 2011 අපේ‍්‍රල් මස සහ 2011 ජූලි මස අතර මුහුණත වටිනාකම (Face value) වන යූරෝ 35,000,000 වන බැඳුම්කර යූරෝ 26,267,000 ක මුදලකට මිලදී ගැනීමක් සිදුකර ඇති අතර එම මිල දී ගැනීම කිසිදු විමසීමකින් කරුණු සොයා බැලීමකින් තොරව ගන්නා ලද අත්තනෝමතික තීරණයකට අනුව කරන ලද මිලදී ගැනීමකි. මේ හරහා යූරෝ 803,500 පමණ පාඩුවක් සිදු විය. කබ්රාල් ඊට වගකිවයුතු නැතිද?

පීපල්ස් මර්චන්ට් බැංකුවේ සභාපති පත්කිරීම, මර්චන්ට් බැංකුවේ සභාපතිට සෙලින්කෝ ප‍්‍රශ්නය විසඳන්න දීම, නේෂන් ලංකා සමාගම ඇතුළුව කොටස් වෙළෙඳපොළේ ඒ සමයේ වැඩ පෙන්නූ මාෆියාව සමඟ කබ්රාල් කළ ගනුදෙනු සොයා බැලිය යුතු නැතිද?

ඒ වැඩවලට ලබා දුන් නිදහස තුළ රටට මූල්‍ය හානි සිදු වූයේ නැතිද? ඒ වෙනුවෙන් කාටවත් සිංගප්පූරුවේ නිවාස හිමි වූවාද? මේ කාරණාවලට කබ්රාල්ට චෝදනා නැතිද?

ජනාධිපතිවරණය අත්‍යාසන්නයේ මහ බැංකුවේ සිට ලොරිවලින් අරලියගහ මන්දිරයට පටවා ගෙන ආ ඇමරිකානු ඩොලර් මිලියන 100ක මුදල පිළිබඳවත් එයට කබ්රාල් මැදිහත් වූ බවටත් එදා එල්ල වූ චෝදනා අදටත් විභාග වී නොමැත. අර්ථසාධක අරමුදලට අයත් ජෝන් කීල්ස් සමාගමේ කොටස් මැලේසියානු විශ‍්‍රාමික අරමුදල වන කාසනා (khazanah nasional berhad) වෙත විකිණීම සහ ඊට අදාළව එල්ල වූ චෝදනා අදට වලංගු නැත්ද?

ඒ අයුරින් කබ්රාල් ජාතකය ගැන තවත් බොහෝ දේ ලියන්නට පුළුවන. මෙසේ අපි ලිව්වේ හිටපු මහ බැංකු අධිපති ගැන පමණය. නමුත් රාජ්‍ය මුදල් අවභාවිතයේ යෙදවූ බවට චෝදනා ඇති සුදු කරපටි මහත්වරුන් අද නිදැල්ලේය. ඉතින් ප‍්‍රශ්නය ඇත්තේ අර්ජුන්ගේද? අධිකරණයෙන් නිදොස් කොට සිටිය දී පට්ට කෙබරයින් සහ දේශපාලන යාචකයින් ගහන පදවලට නටන්න ගොස් ආණ්ඩුව මේ වැටෙන්න යන්නේ බරපතළ දේශපාලන උගුලකටය.














 සංජය ලියනගේ


Share on Google Plus