සුමිත් තජුඩීන් ඝාතනය ගැන අපරාධෝච්ඡාරණයක - මහාචාර්ය සමරසේකරට විනය ක්‍රියාමාර්ග.


වසීම් තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට රිමාන්ඩ්භාරයේ පසුවන, එවක නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා හමුවේ අපරාධෝච්ඡාරණයක් කිරීමට අවසර ඉල්ලා ඇත.

මෙසේ සුමිත් චම්පික පෙරේරා 127 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා ඇත්තේ අද (26) වසීම් තජුඩීන් ඝාතන නඩුව කොළඹ 03 මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය. සැකකාර පොලිස් පරීක්ෂකවරයා තම නීතිඥ අජිත් පතිරණ මහතා මාර්ගයෙන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.


මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා එකී ඉල්ලීමට ඉඩහරිමින් පවසා ඇත්තේ ඒ පිළිබඳව නැවතත් හොඳින් සිතා බලා අවශ්‍ය නම් පමණක් නඩුවේ ඊළඟ කැඳවීම් දිනය වන ජුනි 09 වැනිදාට එම ප්‍රකාශය කරන ලෙසයි. එතෙක් සැකකාර පොලිස් පරීක්ෂකවරයා හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක රිමාන්ඩ්භාරයට පත්කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර වසීම් තජුඩීන් ඝාතනයේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මහාචාර්ය ආනන්ද සමරසේකර, වෛද්‍ය රාජගුරු සහ තවත් වෛද්‍යවරයෙකුට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (Sri Lanka Medical Council) විසින් එකී වාර්තාව සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවට ලිඛිත පොරොන්දුවක් අද (26) කොළඹ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදී තිබේ. මෙම පොරොන්දුව සමග නව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් වෛද්‍ය සභාව විසින් නඩුවට ගොනුකොට ඇත.

මරණකරුගේ පාදයේ අස්ථි කොටස් අතුරුදන් වීම සම්බන්ධයෙන් මහාචාර්යවරයා සහ අනෙක් වෛද්‍යවරුන් දෙදෙනා වගකිව යුතු බව මෙම වාර්තාවෙන් වෛද්‍ය සභාව පිළිගෙන තිබේ. මෙම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මත පිහිටා මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ද වසීම් තජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් බවට එකළ තීන්දු කරන ලදී. 

මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වී ඇත්තේ මොවුන් තිදෙනාට එරෙහිව සාපරාධී නොසැලකිල්ල (Criminal Negligence), සාක්ෂි වසන් කිරීම හා කුමන්ත්‍රණය කිරීම යටතේ නඩු පැවරිය හැකි බවයි. ඒ අනුව මහාචාර්ය ආනන්ද සමරසේකර හා අනෙක් වෛද්‍යවරුන් දෙදෙනා ඉදිරියේදී අත්අඩංගුවට පත්වීමේ අවදානමක් පවතී.

මේ පිළිබඳව අපවෙත අදහස් දැක්වූ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු පවසා සිටියේ 'වසීම් තජුඩීන් නඩුව ශ්‍රී ලංකා අපරාධ නඩු ඉතිහාසයේ මෑතකාලයේ හොඳම නඩුව වියහැකි' බවයි.

Share on Google Plus