සන්නස්ගලට ජීවිත තර්ජනයක්...!!!


සිංහල භාෂාව සම්බන්ධව උසස් පෙළ උපකාරක  පන්ති මෙහෙයවන ප්‍රවීණ දේශක,ලේඛක,ගීත සහ නාට්‍ය පිටපත් රචක  මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසනයේ සංවිධායකවරයාද වන 'උපුල් ශාන්ත සන්නස්ගල' මහතාට මේ වන විට "පශ්චාත් නූතනවාදයේ ක්‍රියාකාරීත්වය" විසින් ජීවිත තර්ජනයක්  එල්ල වී ඇති බව අපට නුගේගොඩ රොටරි ආයතනයේ සිදු කරන ලද සංචාරයකදී දැන ගන්නට ලැබුණි.මේ එම තත්වය පිළිබදව කෙටි විග්‍රහයකි...

මීට දශකයකටත් අධික කාලයක් පුරාවට 'උසස් පෙළ උපකාරක පන්ති' තුළ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වූයේ උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් මෙහෙයවන උසස් පෙළ සිංහල භාෂාව පන්ති මාලාව තුළ බවට කිසිදු විවාදයක් නොමැත.උපකාරක පන්ති මෙහෙයවීමට අමතරව විශිෂ්ට ලේඛකයෙකු ලෙසත්, නිර්මාණාත්මක ගීත සහ නාට්‍ය පිටපත් රචකයෙකු ලෙසත් උපුල් ශාන්ත සන්නස්ගල මහතාව රටම හදුනාගෙන සිටියේය.ඔහුගේම කුඩා කාලයේ ජීවිත කතාව වස්තු විෂය කොට ගනිමින් රචනා කරන ලද 'අම්මා' සිංහල කෘතිය තුළින් උපුල් ශාන්ත සන්නස්ගල මහතා තවත් ජනතාවගේ හදවත් දිනා ගැනීමට සමත් විය.එමෙන්ම ගංගොඩවිල,විජේරාම හන්දියේ පිහිටා ඇති 'සන්හිද' ප්‍රකාශන ආයතනය මගින් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට අවශ්‍ය වන සමාජ විද්‍යාත්මක වපසරියට අයත් වන කෘති ඉතාම සහනදායී මිළට ලබා දීමට උපුල් ශාන්ත සන්නස්ගල මහතා පියවර ගෙන තිබීම බොහෝ විද්‍යාර්ථීන්ගේත් විද්වතුන්ගේත් ප්‍රශංසාවට හේතු වූ කරුණක් විය. 

අප ජීවත් වන්නේ 'පශ්චාත් නූතනවාදී' සමාජයකය.මේ සමාජය තුළ පැවත්මක් තිබෙන්නේ විකිණිය හැකි 'මාකර්ට්' කළ හැකි භාණ්ඩ මෙන්ම පුද්ගලයන්ටය. ඒ අර්ථයෙන් ගත් කළ උපුල් ශාන්ත සන්නස්ගල යනු පශ්චාත් නූතනවාදය තුළ හොද හැටි විකිණිය හැකි 'මාකර්ට් කළ හැකි' චරිතයක් යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. පශ්චාත් නූතනවාදය තුළ ඇති තවත් ලක්ෂණයක් වන්නේ එලෙස මාකර්ට් කළ හැකි චරිත ස්වේඡ්චාවෙන්ම මතු වනවා මිසක් කාගේවත් බල කිරීමකට හෝ තර්ජනයක් තුළින් හෝ පෙරැත්ත කිරීමකට මතු නොවීමයි. සමාජය විසින් යම් ඉගියක් පමණක් සපයයි. දැල එලා ගැනීම තමන් විසින් කළ යුතුය.

උපුල් ශාන්ත සන්නස්ගල මහතා අතින් සිදු වූයේ සමාජය ලබා දුන් ඉගියට ඉක්මනින් ප්‍රතිචාර දක්වන්නට යෑමේ වරදයි.

නමුත් පශ්චාත් නූතනවාදී සාධකය යනු අපට අපේ ජීවිත පිළිබදව තීරණයක් ගැනීමට ඉඩක් ලබා නොදීම අපිට හොරෙන් අපේ ජීවිත මාර්කට් කරනා සිහි විකලත්වයකි.සටහනේ පෙර මා සදහන් කළ උපහැරණ වලින් බලගතු සන්නස්ගල මහතා වැරදි වෙලාවක වැරදි දේශපාලනයක් තෝරා ගත්තේය.ඔහු තරග කිරීමට තෝරා ගත්තේද අතිශය සංකීර්ණ දේශපාලන වාතාවරණයක් ඇති කොළඹ දිස්ත්‍රික්කයයි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹින් වැඩිම මනාප ලබා ගන්නා බව ස්ථිරය.සන්නස්ගල මහතා උත්සාහ කළේ එක්සත් ජාතික පක්ෂයේ මනාප ලැ‍යිස්තුවේ 2 වැන්නා වීමටය.

එහෙත්,එක්සත් ජාතික පක්ෂයේ එවකට උප නායක රවී කරුණානායක,විජයදාස රාජපක්ෂ,හර්ෂ ද සිල්වා,සුජීව සේනසිංහ,එරාන් වික්‍රමරත්න,පාඨලී චම්පික රණවක වැනි දැවැන්ත දේශපාලන චරිත සමග හැප්පෙමින් දිස්ත්‍රික්කයේ 2 ස්ථානය ලැබීම දේශපාලනයේ කෝඩුකාරයෙකු වූ සන්නස්ගල මහතාට කිසි විට සිදු කළ නොහැක්කකි.

රත්මලාන ආසනයේ එවකට සංවර්ධන සම්බන්ධීකාරක කමිටුවේ ප්‍රධානත්වය දැරුවේ පාඨලී චම්පික රණවක ඇමතිවරයාය.එමෙන්ම රත්මලාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයා වූයේ මොහාන් ලාල් ග්‍රේරු මහතාය.ඔහුට කොළඹ දිස්ත්‍රික්කය තුළ අධ්‍යාපනයට සේවය කරන ගුරුවරයෙක් ධානපතියෙක් ලෙස හොද පිළිගැනීමක් තිබේ. ශ්‍රී ලංකාවේ පිහිටවූ ප්‍රථම 'මහින්දෝදය විද්‍යාගාරයද' ඔහුගේ ධන පරිත්‍යාගයෙන් 'රත්මලාන කොතලාවලපුර විද්‍යාලයේ' පිහිටුවා තිබුණි.මේ අනූව සන්නස්ගල මහතා රත්මලාන ආසනය භාර ගන්නේම නවකයෙකු ලෙස අසමත් අයෙකු ලෙසයි.නමුත්,සන්නස්ගල මහතා රත්මලාන ආසනය භාර ගනී.

සන්නස්ගල මහතා කෙලින් වැඩ ඇති,කෙලින් කතා ඇති පුද්ගලයෙකි. නමුත්,එය දේශපාලකයෙකුට සෑම විටම වාසි ගෙන දෙන්නේ නැත.අපි මෙසේ උපකල්පනය කරමු!කොළඹ දිස්ත්‍රික්කයේ කුඩු ජාවාරම වඩාත් ප්‍රචලිතව දියත් වන ප්‍රදේශයකට ගොස් තමන් බලයට පත් වූ විට කුඩු නැති කරනවා යැයි කීම කෙලින් වැඩ ඇති කෙලින් කතා ඇති පුද්ගලයෙකුගේ වීර කමකි.නමුත්,එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවිකාව කුඩු ජාවාරම මත ගොඩ නැගී ඇත්නම් මහ මැතිවරණයකදී ජනතාව තමන්ගේ ජීවන ආදායම අහුරන අපේක්ෂකයෙකුට තම මනාප ලබා දෙයිද? (මෙය උපකල්පනයකි...) සිදු කළ යුතුව තිබුණේ මා බලයට පත් වූ පසුව ඔබ තුමන්ලා මෙහෙම බයෙන් ජීවත් වන්න අවශ්‍ය වන්නේ නෑ...මම ඔබතුමන්ලාට වඩාත් හොද ජීවන මාර්ගයක් සකස් කර දෙනවා...ඔබ තුමන්ලාගේ දරුවන්ට ඕන තැනක ගිහින් මගේ තාත්තා රජයේ සේවකයෙක්,අම්මා ව්‍යවසායකයෙක් ලෙස කියන්න පුලුවන් හෙටක් උදා කරනවා...යනුවෙනි.

පශ්චාත් නූතනවාදය හරිම පුදුමාකාරයි.එහි මාර්කටින් දැලට හසු වූ පුද්ගලයෙක්ට වැරදීමක් වූ පසුව අනුන් වෙත චෝදනා නැගීමටවත් අවස්ථාවක් ලබා නොදෙයි.ඇත්තටම උපුල් ශාන්ත සන්නස්ගල ගුරුතුමා මරා දැමුවේ කවුද? පිළිතුරක් නැත.එය සිදු කළ කෙනෙක් නැත.මගේ අත්දැකීම් අනූව හොදම පිළිතුර කාලයාට ඉඩ දීමයි...පශ්චාත් නූතනවාදය විසින් අපව අවශ්‍ය තැන අවශ්‍ය පරිදි නිර්මාණය කරනු ඇත.

(මෙය හුදෙක්ම විචාරයක්ය...ප්‍රවෘත්තියක් හෝ දැන්වීමක් නොවේ!)


-ඉෂාර ලක්මිණ @ ©Youth Arena


Share on Google Plus