උඩුවේ හිමිට නඩු - නීතිපති තීරණය කරයි.


බලපත්‍ර නොමැතිව අලි පැටවකු සන්තකයේ තබාගැනීමේ චෝදනාව ඇතුළු චෝදනා තුනක් යටතේ උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කර ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවතින නඩුවට අදාළව සී.ආර්. 01/07/16 යටතේ උධෘත 2016/04/04 රහස් පොලිසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබූ අතර එය සැලකිල්ලට ගෙන නීතිපතිවරයා මෙම නඩු පැවරීම සිදු කර ඇත.

වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 63 වගන්ති ප්‍රකාරව ‍මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම පිළිබඳව නීතිපති උපදෙස් පතා ලිපියක් ද නීතිපතිවරයා වෙත රහස් පොලිසිය භාර දී තිබූ බවට ඉකුත් නඩු දිනයේදී අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

සිරි ඇලන්මැතිණියාරාමය හිමිකාරත්වය හා අලියාගේ බාරකාරත්වය සම්බන්ධයෙන් ද අලියා රැකබලා ගත් ඇත් ගොව්වන් සඳහා අවශ්‍ය වැටුප් ප්‍රතිපාදන ලබාදෙමින් අලියාගේ හිමිකාරත්වය දැරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වීමෙන් අනතුරුව 2016/02/11 නීතිපති උපදෙස් අනුව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි.

පසුව හිමි ඇප මත මුදා හැරුණු අතර පනස්නව ලක්ෂ හතළිස් අටදාහක වටිනාකමින් යුතු ඇත් පැටවෙකු ළඟ තබා ගැනීම, පොදු දේපළ පනත යටතට ගැනෙන බව පවසමින් සැකකාර හිමිනම රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

Share on Google Plus