තිලිණට හා අනුරට රටින් පිටවීම තහනම්.


වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවනු ලැබූ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතාට හා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට රටින් බැහැරවීම වළක්වාලමින් නියෝගයක් නිකුත්වී ඇත.

රුපියල් හැට නව ලක්‍ෂ හැත්තෑ දහසක් වටිනාකම ඇති අලි පැටියකු නීත්‍යනුකූල නොවන ලෙස සන්තකයේ තබාගැනීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක පනත හා පොදු දේපළ පනත යටතේ චෝදනා ලැබ සිටියි.

ඒ අනුව, කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් තිළිණ ගමගේ මහතාට එකී සිද්ධියට අදාළව රහස් පොලීසිය හමුවේ මේ මස 25දා පෙනී සිටින ලෙසට ද නොතීසි නිකුත් කර ඇත.

රගර් ක‍්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඩීන් ඝාතනයේ කරුණු වසන් කිරීම, විමර්ශන යටගැසීම, අපරාධ සැඟවීම, සාක්ෂි විනාශ කිරීම යන චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් කට උත්තර ලබාගැනීම සඳහා, ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට දැනුම්දී තිබිණ.

කෙසේවුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණි අනුර සේනානායක මහතා ඊයේ පස්වරුවේ ශාන්ති කර්මයක් සඳහා වේයන්ගොඩට ගොස් ඒ එන අතරවාරයේ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියකුගේ නිවසට ගොස් තමාව බේරා ගන්න ලෙස ආයාචනය කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පසුගිය දින කිහිපයේම අනුර සේනානායක මහතා ගෙන් දීර්ඝ ප්‍රකාශයක් ලබාගෙන තිබිණ.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස පොලිසිය විසින් දැනුම්දී තිබුනේ එම ඝාතනය සිද්ධියට අදාලව පරීක්ෂණ පැවැත්වූ පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ ප්‍රකාශ සැලකිල්ලට ගනිමිනි.

අනුර සේනානායක මහතා තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හැර සිටියහොත් ලබන සඳුදා විශේෂ පොලිස් කණ්ඩායමක් යවා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයෙන් පොලිස්පතිවරයාට නියෝගයක් ලැබී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

Share on Google Plus