නාග විහාරෙන් අලුත් සටනක් ඇරැඹෙයි.


යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා ගාමක බලවේගයක් ලෙස ක්‍රියාත්මක වූ මාදුළුවාවේ සෝභිත හිමියන් නායකත්වය දැරූ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ව්‍යාපාරයක් ලබන සතියේ සිට ආරම්භ කිරීමට සූදානම් වෙයි.

සිවිල් සංවිධාන ප්‍රධානීන් සහ ක්‍රියාකාරීන් රැසක් පසුගිය බදාදා සවස මේ පිළිබඳව සුවිශේෂී සාකච්ඡාවක් පවත්වා ඇති අතර වත්මන් රජය දූෂිතයන්ට දඬුවම් දීම පිළිබඳ ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම පිළිබඳ සුවිශේෂී විශ්ලේෂණයක් සිදු කර ඇත.

මේ සාකච්ඡාවට සම්බන්ධ වූ සියලුම සිවිල් සංවිධාන නියෝජිතයන් ඒකාබද්ධව ලබන අඟහරුවාදා හෝ බදාදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඔවුන් කුමන පියවරකට එළැඹෙන්නේද යන්න පිළිබඳව දැනුම්දීමට නියමිත අතර සතියක හෝ දෙකක කාලයක් ඇතුළත කොළඹදී ඔවුන් දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා ආණ්ඩුවට එරෙහි පළමු පියවර ගැනීමට සූදානම් වන බවද පැවැසේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෙන්ම මහ මැතිවරණය සමයේදී වත්මන් රජයේ විවිධ පාර්ශ්ව ලබාදුන් පොරොන්දු අනුව පසුගිය රජය සමයේ දූෂිත ගනුදෙනු සහ දූෂිත ක්‍රියාකාරකම්වල නිරත වූ පුද්ගලයන්ට දඬුවම් නොදීම පිළිබඳව සිවිල් සංවිධාන දැඩි අවධානයක් යොමු කර ඇත.

එසේම වත්මන් රජයේද අමාත්‍යවරුන් ලෙස කටයුතු කරමින් දූෂිත ගනුදෙනුවල නිරත වන අයවලුන්ගේ නම් කිහිපයක් හෙළිකිරීමත් ඔවුන්ගේ දූෂිත ගනුදෙනු පිළිබඳ සියලු තොරතුරු හෙළිකිරීමත් අනිවාර්යයෙන්ම සිදු කරන බවද සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු පවසති.
එසේම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳවද මෙහිදී දැඩි ලෙස ප්‍රශ්න කිරීමද සිදුවනු ඇත.

මේ වන විට විදේශගතව සිටින සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙරටට පැමිණි පසු ඔහු සමඟද මේ පිළිබඳව සාකච්ඡා කිරීමට සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු සූදානම් වෙති.

Share on Google Plus