ටෙලිකොම් ලොක්කා, කම්කරුවන්ට එරෙහිව වාරන නියෝග ගැනීමට උසාවි ගානේ ගිහින්.


ජනාධිපති සහ අගමැති කම්කරු දිනයේ කම්කරුවන් රජ කරවන්නට කතා කරද්දී තම සේවය ස්ථිර කරන්නැයි ඉල්ලමින් වැඩ වර්ජනයකට සූදානම් වන ටෙලිකොම් මෑන් පවර් සේවකයන්ට එරෙහිව අධිකරණ වාරණ නියෝගයක් ලබාගැනීමට ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන උසාවි ගානේ රස්තියාදු වෙමින් නීච ක්‍රියාවක නිරත වී තිබේ. 

ඔහු මෙසේ ක්‍රියා කෙළේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, සහ විෂයභාර ඇමතිවරයා විසින් ටෙලිකොම් මෑන්පවර් සේවකයින් ටෙලිකොමිහි ස්ථිර සේවයට අනුයුක්ත කළ යුතුයැයි ගෙන ඇති තීන්දුව ක්‍රියාත්මක නොකරමින් වීම තත්ත්වය තවත් බරපතල කරන්නකි. ඔහුට මෙලෙස ක්‍රියා කිරීමට ඇති බලය කුමක්ද ? සුළු මාධ්‍ය නිවේදනයකට මාධ්‍ය ලේකම්වරයා කැඳවා අවවාද කරන අගමැතිවරයාට ටෙලිකොම් සභාපතිගේ අත්තනෝමතික යහපාලන විරෝධී ක්‍රියා නොපෙනේද? ජනාධිපතිවරයාට මේවා නොපෙනේ ද?

මේ ටෙලිකොම් මෑන් පවර් ඛේදවාචකය ගැන පැහැදිලි කිරීමක් කරමු.., 

කකුල් දෙකට දම්වැල් දමා කස පහර දී වැඩ ගත් වහල් සංස්කෘතිය වෙනුවට වත්මන් ගිගාබයිට් යුගයේ වහල් සේවයට අලුත් නමක් ලැබී තිබේ. එය නම් “මෑන් පවර්“ නාමයයි.

ශ්‍රි ලංකා ටෙලිකොම් යනු දිවයිනේ ප්‍රධානතම සන්නිවේදන ජාලය වේ. Voice, ADSL, Peotv ආදී ජනතාව අත්විඳින සේවා රැසක් ඔවුනට ලැබෙන්නේ මෙම මෑන් පවර් සේවකයන්ගේ ශ්‍රමය නිසා මිස රුපියල් ලක්ෂ 10 වැටුප් ලබන ඩොලර් 5000 ගෙවල් කුලී පතන සභාපතිවරයා නිසා නොවේ. 

ටෙලිකොම් මෑන්පවර් සේවය අතිශ්‍ය අමානුෂිකය. ටෙලිකොම් ස්ථීර සේවකයෙකු ලබාගන්නා වැටුපට වඩා අඩු වැටුපක් ලබන මෑන්පවර් සේවකයා කරන රාජකාරියේ අඩුවක් නැත. ඊට අමතරව තවත් දීමනා රැසක් මෑන්පවර් සේවකයාට අහිමිය. ඊට කදිම නිදසුනක් වන්නේ ඔහුට ණය මුදලක් පවා ලබා ගත නොහැකි වීමය. ස්ථීර පදනමක් නොමැති රැකියාවක සුරක්ෂිත භාවය ගැන කතා කිරීමට වචන නාස්ති කළ යුතු ද නැත.

ශ්‍රී ලංකා ටෙලිකොම් මෑන්පවර් සේවකයන් ස්ථිර කරන බවට පොරොන්දු වී දැනට වසර 15 කටත් අධිකය. වසර 15 පුරාවට ගෙන යන මෙම සටන පසුගිය කාලයේ ඉතා තියුණු විය. මෑන්පවර් සේවකයන් අඛණ්ඩව දින 6 ක වැඩ වර්ජනයක් දියත් කළහ. එවක සිටි රාජපක්ෂ රෙජීමය විසින් අධිකරණ වාරන නියෝගයක් ගෙන නීත්‍යාණුකූල සේවක වර්ජනය බිඳ දැමීය. එම වාරණ නියෝගය ගත්තේ එවක ටෙලිකොම් ප්‍රධාන විධායකයාව සිටි ලලිත්ද සිල්වා හා රාජපක්ෂලාගේ සට්ටැඹියෙකු වූ මොබිටෙල් ආයතනයේ රංජිත් රූබසිංහ විසිනි. එතෙක් කල් ජනතාවගෙන් වසන් කර තිබූ ටෙලිකොම් මෑන්පවර් ගැටලුව රටෙහි අස්සක් මුල්ලක් නෑර කතා වෙන්නට වූයේ එම වාරණ නියෝග මර්දනය නිසාය. සේවකයන්ගේ නීත්‍යාණුකූල වර්ජනයක් අධිකරණ නියෝගයකින් කඩා කප්පල් කිරීම එදා ජනාධිපතිවරණයකට මුහුණ දුන් මහින්ද රාජපක්ෂට විශාල පහරක් වූ බව කවුරුත් පිළිගනිති.

පසුව පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන රජය යටතේ අතුරු අයවැය මගින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මෑන් පවර් සේවකයයින් ටෙලිකොම් හට අනුයුක්ත කරගන්නා ලෙස සඳහන් කර තිබිණ. පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙය සිදුකරන ලෙස විෂයබාර අමාත්‍යවරයාට සහ ටෙලිකොම් පාලකයින්ට දැනුම් දී තිබිණ.
නමුත් දැන් ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ සහ විෂයභාර ඇමතිවරයාගේ අනුමැතිය පරිදි අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති ටෙලිකොම් මෑන්පවර් සේවකයින් ටෙලිකොම්හි ස්ථිර සේවයට අනුයුක්ත කිරීමට ගෙන ඇති තීන්දුව ක්‍රියාත්මක නොකරමින් රාජපක්ෂලාට කඩේ ගිය දූෂිත වෘත්තිය සමිති කිහිපයක් සමග එක්ව ටෙලිකොමි සභාපති කුමාරසිංහ සිරිසේන  සහ ටෙලිකොම් සමූහ පුධාව විධායක නිලදාරී දිලීප විජේසුන්දර  විසින් වසර 17 ක් පමණ සේවය කළ, ටෙලිකොම්හි පාරිභෝගික මෙහෙයුම් කටයුතුවලින් 70% කාර්යභාරයක් ඉටුකරන, මෙම මෑන්පවර් සේවකයින් ඇතුළු සේවකයින් 2100 ක් පමණ ස්ථිර කිරීමට එරෙහි වී සිටී.

මෑන්පවර් සේවකයන් ඇතුළු සේවකයන් 2100 ක් පමණ දෙනා දැන් වර්ජනයකට සූදානම් වෙමින් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගෙන ඇත. ඔව්හු අද දිනයේ (02) කොළඹ කොටුව ටෙලිකොම් මූලස්ථානයේ සිට කැළනිය රජ මහා විහාරය දක්වා බැනර් ප්‍රදර්ශනය කරමින් පා ගමනක් ගියහ. මෙම කම්කරු අරගලය සම්මත මාධ්‍ය වල වාර්තා නොවන්නේ ද ටෙලිකොම් පාලකයන් විසින් ‘දැන්වීම් නතර කරනවා‘ යැයි එම ආයතනය වලට කරන තර්ජන නිසාය. මෙම සේවයකයන්ගේ සාධාරණ අරගලය කඩා කප්පල් කිරීම සඳහා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන විසින් රාජපක්ෂ යුගයේ සේවක මර්දනය සඳහා භාවිතා කළ ‘අධිකරණ වාරණ නියෝග‘ ගැනීමට උසාවි ගානේ රස්තියාදු වීම නින්දා සහගතය. 

අනෙක් සියලුම ආයතන වල මෑන්පවර් සේවක ගැටළුවට විසඳුම් ලැබෙද්දී කුමාරසිංහ සිරිසේනගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පමණක් එම ගැටලුවට තවම විසඳුම් ලැබී නැත්තේ  රාජපක්ෂ සමයේ ටෙලිකොම් පාලක මණ්ඩලයේ කරනම් ගැසූ රංජිත් රූපසිංහ නමැති දූෂිතයා කුමාරසිංහ සිරිසේනගේ ගජ මිතුරා වීම නිසා බව ටෙලිකොම් සේවකයන්ට රහසක් නොවේ. 

-LankaEnews



Share on Google Plus