කැපකළ ජනතාවට ප්‍රතිලාභ දෙන බව රනිල් පොරොන්දු වෙයි.


ජනතාවට මේ වන විට ප්‍රධාන වශයෙන් විකල්ප දෙකක් ඉතිරිව පවත්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත්කිරීම කළ හැකි යයිද, එසේත් නැතිනම් යූ.ඇන්.පිය විනාශ කිරීම සඳහා කටයුතු කළ හැකි යයිද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අද(01)බොරැල්ල කැම්බල් පිටියේ පැවති මැයි දින රැළියට එක්වෙමිනි.

එජාපයේ සිටින්නේ කැපවුණු ජනතාවක් බව කියා සිටි අග්‍රාමාත්‍යවරයා දැන් උදාවී ඇත්තේ එලෙස කැප කළ ජනතාවට ප්‍රතිලාභ ලබාදීමේ අවස්ථාව බව මෙහිදී සඳහන් කළේය.

රටේ දේශපාලන පක්ෂ එකතුව පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත්කිරීමෙන් එළඹෙන අභියෝගවලට පහසුවෙන් මුහුණදිය හැකි බවත්, ඒ තුළින් ජනතා අපේක්ෂා ඉටු කළ හැකි බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

රාජපක්ෂ රෙජිමයේ පවුල් පාලනයට තිත තබා දූෂණය නැති කර රටට යහපත් අනාගතයක් උදාකිරීමේ ගමන මේවන විට ආරම්භ වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

එම නිසා ඒ ඒ පක්ෂවල ප්‍රතිපත්ති හා මූලධර්ම මත පදනම්ව ක්‍රියා කරන අතරම රටේ පොදු ප්‍රශ්නවලදී එකට එක්ව කටයුතු කිරීමට හැකි බවත්,ප්‍රශ්න විසඳා ගත හැක්කේ ඒ තුළින් පමණක් බවත් ඔහු අවධාරණය කළේය.

එජාපය තුළ ද විවිධ අදහස් දරන අය සිටින බවත්, එම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ ඕනෑම අයෙකුට සහයෝගයෙන් කටයුතු කළ හැකි බවත්,එසේ වුවද හංදියේ සිටින කාඩ්බෝඩ් දුටුගැමුණුලාට තම පක්ෂයේ ඉඩක් නොමැති බව අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස කියා සිටියේය.

රු.බිලියන 1000ක හොර ණයක් අරගෙන ජනතාවට එකී බර පැටවූ අය උදයංග වීරතුංග වැන්නන්ගේ කරට අත දාගෙන කටයුතු කරන අතර එෆ්.සී.අයි.ඩී එකට බියෙන් කටයුතු කිරීම තේරුම්ගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.

මේ ආණ්ඩුව විසින් වැට් බෝම්බයක් පත්තු කළා යැයි ඇතැම් මාධ්‍ය චෝදනා කළද රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ වැට් බද්දෙන් නිදහස් කිරීමට තම ආණ්ඩුව කටයුතු කළ බව සිහියට ගත යුතු බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

පෑලියගොඩ සිට කොළඹ නගරය දක්වා ගුවන් මාර්ගයක් තැනීමට කටයුතු කරන බවත්,කොළඹ-නුවර අධිවේගී මාර්ගය සාදන බවත්, මේ කිසිවක් තුළින් කොමිස් ගැසීමක් සිදුනොවන බැවින් ඒ ප්‍රතිලාභ ජනතාවට හිමිවන බව ඔහු පෙන්වා දුන්නේය.

පෝට් සිටි ව්‍යාපෘතියද රටට හිතකර ලෙස එය ඩුබායි-සිංගප්පූරුව අතර හොඳම ආර්ථික මධ්‍යස්ථානය ලෙස ගොඩනඟන බවත්, 2023 වන විට රටේ දල දේශීය නිෂ්පාදිතය දෙගුණයකින් වැඩිකර රටේ ණය බර අඩු කිරීමට ක්‍රියා කරන බව හෙතෙම අවධාරණය කළේය.

මෙම ක්‍රියා මාර්ග සඳහා පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත්කරලීමට කටයුතු කිරීම වැරදිදැයි අග්‍රාමාත්‍යවරයා  ප්‍රශ්න කළේය.


Share on Google Plus