ජනපති-අගමැති නියමයෙන් මුදල් රෙගුලාසි නොතකා සහන.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි චක්‍රලේඛවලට පරිබාහිරව, මුදල් රෙගුලාසි නොතකා, ආපදාවට ලක් වූ සියලු දෙනාට පූර්ණ සහන සැලසීමට අවශ්‍ය මුදල් සියලු දිසාපතිවරුන්ට ලබාදෙන බව ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

වසර 13කට පසු මෙරටට බලපෑ විශාලතම ස්වාභාවික ආපදාව වන පසුගිය දිනවල ඇති වූ ගංවතුර හා නායයෑම් තත්ත්වය නිසා සිකුරාදා සවස වන විට පුද්ගලයන් 67 දෙනකු ජීවිතක්ෂයට පත් වී පවුල් ලක්ෂයකට අයත් පුද්ගලයෝ 450000ක් පමණ ආපදාවට ලක්වී සිටියහ.

දිවයිනේ දිස්ත්‍රික්ක 19කට බලපා ඇති මෙම ආපදා තත්ත්වය හේතුවෙන් දැනට 140 දෙනකු අතුරුදන් වී ඇති අතර, නිවාස 3800ක් ඇතුළු රුපියල් කෝටි ගණන් වටිනා චංචල නිශ්චල දේපළ විනාශ වී ඇත.

කොළඹ, පුත්තලම, කෑගල්ල, කුරුණෑගල, අනුරාධපුර දිස්ත්‍රික්කවලට ඉතා දරුණු ලෙස බලපෑ මෙම ආපදා තත්ත්වයට හේතු වූ රෝනු (ROANU) සුළි කුණාටුව දැන් ඉන්දියාව දෙසට ගමන් කරන බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා ‍පවසයි. කෙසේ වුවත් මේ සුළි කුණාටුව බලපෑම් නිසා සෙනසුරාදා ඉරිදා දිනවල බස්නාහිර මධ්‍යම සබරගමු වයඹ පළාත්වලටත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් සවස් වරුවේ වැසි ඇතිවීමට ඉඩ ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

මේ අතර ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ 3500ක් පමණ සහන සේවාවල නිරත වන බව ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය පවසයි. ඒ අනුව යුද හමුදාවේ 1500ක්, නාවික හමුදාවේ 650ක් ගුවන් හමුදාවේ 200ක් හා පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්ත‍ෙම්න්තුවේ 1000ක් පමණ දෙනා දිස්ත්‍රික්ක 19ක සහන සේවාවල නිරත වෙති.

මේ සඳහා නාවික හමුදා බෝට්ටු 73ක් යුද හමුදාවෙන් බෝට්ටු 42ක් හා හෙලිකොප්ටර් යානා 10ක් පමණ යොදවා ඇතැයි ද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මේ අතර මෙරට රාජ්‍ය, මාධ්‍ය, ස්වේච්ඡා සංවිධාන ගණනාවක් හා ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය සහන සේවා කටයුතුවලට උදව් වන බවත් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

ඉදිරි දිනවල ජලය බැසයෑමෙන් පසු වසංගත ආදිය ඇතිවීමට ඉඩ ඇති නිසා පානීය ජලය හා පලා වර්ග, එළවළු ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා දන්වා සිටී.

කූට වෙළෙඳුන් ගංවතුරට යට වූ ආහාර ජනතාවට විකිණීමට කරන උත්සාහ පිළිබඳව අවධානය යොමු කරන බවත් වැටලීම් සිදු කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු පවසති.

සතියකට ආසන්න කාලයක් දුම්රිය ධාවනය නොවූ උඩරට මාර්ගයේ රඹුක්කන කඩුගන්නාව අතර දුම්රිය ධාවනය දිවා කාලයේදී පමණක් ධාවනය කිරීමට පියවර ගත් බව දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරි වී.එස්. පොල්වත්තගේ මහතා කීය. උඩරට දුම්රිය මාර්ගයේ ගිලා බැසීම් ඇති වූ ප්‍රදේශයේ නිරන්තරයෙන්ම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව දුම්රිය ධාවනය කරනු ලබන බවත් මේ වන විට කොළඹ සහ බදුල්ල අතර පොඩි මැණිකේ සහ උඩරට මැණිකේ දුම්රියයන් පමණක් ධාවනය කරනු බලන බවද ඒ මහතා කීය.

අවතැන් වූවන්ට අවශ්‍ය භාණ්ඩ නොමිලේ ප්‍රවාහනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති අතර ප්‍රධාන දුම්රිය ස්ථාන අසල ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානද ඉඳිිකර ඇත.

Share on Google Plus