යුද කාලෙදී පොලියෝ දුන් හැටි අගමැති හෙළිකරයි.


ජාත්‍යන්තර රොටරි සමාජයේ 107 වන ජාත්‍යන්තර සමුළුවේ මුඛ්‍ය දේශනය පැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහං මහතාට අවස්ථාව ලැබුණ අතර යුද්ධය පැවිත කාලෙය් රට පුරාම පාසල් සිසුන් සඳහා පෝලියෝ එන්නත ලබාදුන් අකාරය මේහිදී ඔහු සිහිපත් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බන් කී මූන් මහතා සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය හ්වං ක්යොආන් මහත්වරුන් සභාව ඇමතීමෙන් පසුව මුඛ්‍ය දේශනය පැවැත්වුණු අතර, ඒ සඳහා වික්‍රමසිංහ මහතා වේදිකාවට පැමිණියේය.

සිය දේශනයේදී අගාමාත්‍යවරයා අධාරණය කළ විශේෂ කරුණක් වූයේ ආණ්ඩු යන්ත්‍රණයේදී මෙන්ම, සේවා සංවිධාන ක්‍රියාවලියේදී ද කාන්තා හා තරුණ සහභාගීත්වයේ අවශ්‍යතාවයයි. පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා වූ සෑම තලයකදීම ක්‍රියාකාරී කාන්තා සහභාගීත්වයක් ලබා ගැනීම පිලිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම අතිශය වැදගත් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.


රොටරි සමාජයේ ජාත්‍යන්තර සමුළුව අමතමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැත්වූ සම්පූර්ණ කතාව

“2016 ජාත්‍යන්තර රොටරි සමුළුවෙහි ආරම්භක උත්සවයට එක්වීම සඳහා සියොල් නගරයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඔබට කෘතඥතාවය පළ කරන්නට කැමතියි.

මෙහි පැමිණෙන්නට ලැබීම ගෞරවයක් වගේම ඔබේ සුවිසල් සංවිධානයේ මේ වසරේ නායකත්වය දැරීම පිණිස, අපේ කුඩා රටෙහි තැනැත්තක් තෝරා ගෙන තිබීම ශ්‍රී ලංකාවේ අපට මහත් ආඩම්බරයක් සහ අභිමානයක්.

ශ්‍රී ලංකාවේ අපට පෝලියෝ රෝග තර්ජනයක් නැහැ. දැනට දශක දෙකකට අධික කාලයක් තිස්සේ අපේ රටෙන් පෝලියෝ රෝගීන් වාර්තා වී නැහැ. ත්‍රස්තවාදයට එරෙහි සන්නද්ධ අරගලයක දරුණු ලෙස ගැලී සිටින අතරම අපට පෝලියෝ රෝගය රටින් තුරන් කිරීමට හැකි වුණා. එකී කාර්යය සාර්ථකව ඉටු කරගන්නට හැකි වූයේ රොටරි සමාජයේ දායකත්වය  නිසයි. විශේෂයෙන් එවක ශ්‍රී ලංකාවේ රොටරි සාමාජිකයන් කළ කාර්යභාරය නිසයි. රොටරි සමාජයේ සභාපති රවීන්ද්‍රන්ගෙන් ඊට ලැබුණු අනුග්‍රහය ද සුවිශාලයි.

වර්ෂ 1995 දී යුනිසෙෆ් සංවිධානයත් සමග රොටරි සාමාජිකයන් කිහිප දෙනෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කළා. ඔවුන්ට අවශ්‍ය වුණේ ජාතික ප්‍රතිශක්තිකරණ දිනයක් සංවිධානය කිරීමටයි. එකී කාර්යය උදෙසා ඩොලර් මිලියන එකහමාරක් ලබා දීමට ඔවුන් පොරොන්දු වුණා. එක්වර මුළු රටටම පෝලියෝ එන්නත ලබා දීම සඳහා අවශ්‍ය ඉතිරි මුදල රජයෙන් දරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එකී අදහස යහපත් එකක් වශයෙන් සතුටින් භාරගත්තා. නමුත් උතුරු නැගෙනහිර ගැටුම් සහිත කලාපය තුළ රජයේ පාලනයක් නැති නිසා, ඒ ප්‍රදේශයන් තුළ කටයුතු සංවිධානය කිරීම ප්‍රායෝගික නොවන බව නිලධාරීන් පෙන්වා දුන්නා. ඒ නිසා ගැටුම් පවතින ප්‍රදේශ හැර අනෙක් සියළුම ප්‍රදේශවල දරුවන්ට එන්නත ලබා දීමට කටයුතු කළ හැකි බව ඔවුන් පැවසුවා.

නමුත් රොටරි සාමාජිකයන් ඊට එකඟ වුණේ නැහැ. ඔවුන් කියා සිටියේ මේ ව්‍යාපෘතිය සඳහා රොටරි සමාජයේ මුදල් වියදම් කරන නිසා, එය රටේ එක් කොටසකට පමණක් වැය කිරීම සුදුසු නැති බවයි.

රොටරි සාමාජිකයන්ගේ ඔළුව හොඳ නැති බවක් අමාත්‍යාංශ නිලධාරින්ට දැනුණා.  “ඔයගොල්ලන්ට පේන්නේ නැද්ද මේ රටේ යුද්ධයක් තිබෙනවා. අපට උතුරු නැගෙනහිර ප්‍රදේශවල පාලනයක් නැහැ. ඉතින් ඔයාලා මොකක්ද අපට කරන්න කියන්නේ?” ඔවුන් ඇසුවා.

එවිට රොටරි සභාපති මෙන්න මෙහෙම පිළිතුරු දුන්නා.  “ඒ ගැන වද වෙන්න එපා. යුද්ධය ගැන අපි බලාගන්නම්”

අන්තිමේදී සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් ඔවුන්ට එකඟ වුණා. ඔබලාට යුද්ධය නවත්වන්නට හැකි නම්, මුළු රටේම දරුවන් එන්නත් කිරීමට තමන්ට හැකි බව බලධාරීන් කීවා.

ඉන් මාස දෙක තුනකට පසු රොටරි සභාපති රවීන්ද්‍රන් පැමිණියේ තමාගේ කාර්යාලටත්, යුනිසෙෆ් කාර්යාලයටත් ලැබුණු ලිපියක්ද සමගයි. එය එවා තිබුණේ උතුරු ප්‍රදේශයේ එල් ටී ටී ඊ සංවිධානයයි. ඒ ලිපියේ මෙන්න මෙහෙම සඳහන්ව තිබුණා.  “ජාතික ප්‍රතිශක්තිකරණ දිනයේ දී ඔබේ රජය අවි බිම තබන්නට සූදානම් නම්, අපත් අවි බිම තබා සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට සූදානම්.”

ඒ අනුව සටන් විරාමයක් ක්‍රියාත්මක වුණා. ඔවුන් අවි බිම තැබුවා. අපත් අවි බිම තැබුවා. රොටරි සාමාජිකයන්, යුනිසෙෆ් – රතු කුරුස හා තවත් සෞඛ්‍ය ක්‍රියාකාරිකයන් ජීප් රථ වල සුදු කොඩි ඔසවා ගෙන, මෙතෙක් කිසිවෙකු යන්නට බිය වූ උතුරු නැගෙනහිර ප්‍රදේශයන්ට ගියා.

එය සමථ කාලයක් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපට පෝලියෝ රහිත ශ්‍රී ලංකාවක් බිහි කරගන්නට හැකිවුණා. මේ සමත කාල සීමාව සහ ජාතික ප්‍රතිශක්තිකරණ දිනය අපට ඊටත් ඔබ්බට ගිය තවත් යමක් පෙන්වා දුන්නා. අපට බලාපොරොත්තුවක් ලබා දුන්නා. අපි එකිනෙකා කෙරෙහි බියෙන් කටයුතු කරන පරිසරයක වුවත්, අප සියළු දෙනාම අපගේ දරුවන්ට ආදරය කරනා බවයි.

ඔබේ සභාපති රවීන්ද්‍රන් නොමැති නම් මේ සම්මා ව්‍යායාමය සාර්ථක වන්නේ නැහැ. ගැටුම් පැවති ප්‍රදේශවල දරුවන් එන්නත් කරනු පිණිස සටන් විරාමයක් ඇති කරන්නට ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා. ඔහු බලාපොරොත්තු අත හැරියේ නැහැ. හෘදයාංගම අවංකත්වයක් ප්‍රදර්ශනය කරමින් පෝලියෝ එන්නත් ව්‍යාපාරයට ඔහු උර දුන්නා. එවැනි පුද්ගලයන් මේ සමාජයේ විරළයි.

ශ්‍රී ලංකාව ගැටුම් හා විපත් වලින් විඩාවට පත් වූ අවස්ථාවලදී ශ්‍රී ලංකා රොටරි සමාජය අපේ ජනතාවට අනුපමේය සේවාවක් සලසනු සඳහා පෙරමුණ ගත්තා. 2004 සුනාමි ව්‍යසනයෙන් පසු පාසල් 25 ක් හා මාතෘ රෝහලක් ඉදිකර දීමට රොටරි සමාජය උපකාර කළා. වත්මන් ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ගංවතුර හා නායයාම් විපත් හමුවේ ද රොටරි සමාජය ජනතාවට ආධාර උපකාර කිරීමට ඉදිරියට පැමිණියා.

රොටරි සමාජයක් සහිත ප්‍රජාවක් සහ රොටරි සමාජයක් සහිත රටක් එවැන්නක් නොමැති රටකට වඩා සෑම අතින්ම හොඳ බව අපි අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසා අපේ රටේ රොටරි සමාජය ක්‍රියාත්මක වීම අපට සතුටක්.

රොටරි සමාජය හා වෙනත් එවැනි සේවා සංවිධාන ඕනෑම රටකට, ඕනෑම ප්‍රජාවකට අවශ්‍යවන්නා වූ දේ සපයනවා. සමහර විටෙක සංවර්ධන ක්‍රියාවලිය තුළ නොසළකා හැරෙන සමාජ අවශ්‍යතා ඔවුන් විසින් ඉටු කරනවා. රජයේ සේවාවන්ට එහා ගිය අනුපූරක සේවාවන් ඔවුන් ලබා දෙනවා. තමන්ගේ ප්‍රජා මට්ටම් වෙනස් කර ගැනීමට අවශ්‍ය ජනතාවට ඔවුන් මාර්ග විවර කර දෙනවා. අපට නම් එවැනි කටයුතු කිරීම සඳහා දේශපාලන බලය ලබා ගැනීමේ තරගයකට එක් විය යුතුයි. නමුත් ඔවුන්ට එහෙම නැහැ.

සේවා සංවිධාන ඉටු කරන මෙවැනි ක්‍රියා මාර්ග නිසා ආණ්ඩුවක් වශයෙන් අපගේ වගකීම් සැහැල්ලූ වෙන්නේ නම් නැහැ. ඇත්තෙන්ම සිදු වන්නේ එහි අනෙක් පැත්තයි.  මේ නිසා අපගේ රාජකාරිය වඩාත් හොදින් ඉටු කිරීමට තව තව බලපෑම් එල්ල කෙරෙනවා.

පෝලියෝ රෝගය ලෝකයෙන් තුරන් කිරීමේ ඔබේ ව්‍යාපෘතිය ඉතා වැදගත්. ලෝක ඉතිහාසයේ මෙවැන්නක් සිදුවන්නේ දෙවැනි වතාවටයි. මෙමගින් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාවේ අපට පමණක් නොව මුළු ලෝකයටම රොටරි සමාජය අගනා සම්පතක් බවයි. සංවර්ධනය වෙමින් පවතින පමණක් නොව සංවර්ධිත රටවල රජයන්ටද එය අතිමහත් සම්පතක්.



ආණ්ඩුවක් පය ගැසීමට බිය වන තැන්වලට යෑමට ඔබට හැකියාව තියෙනවා. වෙනත් කිසිවෙකුට අත පෙවිය නොහැකි තැන් ස්පර්ශ කිරීමට ඔබට හැකියාව තියෙනවා. මා හිතන්නේ ලෝකයේ ආණ්ඩු මේ තත්වයෙන් ප්‍රතිලාභ ලබා ගත යුතු බවයි. එය කළ හැක්කේ රොටරි සමාජය හා වෙනත් එවැනි සේවා සංවිධාන වඩාත් පුළුල් සහයෝගීතා අවස්ථා විවර කරගැනීම සඳහා හවුල්කරුවන් කර ගැනීමෙන් බව මගේ අදහසයි.

මෙය යුගයේ අවශ්‍යතාවක් වන්නේ, වර්තමානයේ ආණ්ඩුවල සහ සේවා සංවිධානවල කාර්ය භාරය දැඩි පරිවර්තනයකට භාජනය වෙමින් පවතින නිසයි.

වර්ෂ 2008 දැවැන්ත මූල්‍ය අර්බුදයත් සමග බොහෝ ආණ්ඩුවලට අයවැය පරතරය අවම කර ගැනීමේ පියවරක් වශයෙන් සකසුරුවම් විකල්ප කෙරෙහි යොමුවන්නට සිදුවුණා. පොදු මුදල් වියදම් කිරීම් සම්බන්ධ පීඩනය හේතුවෙන් රජයේ වියදම් කප්පාදු කිරීමට සිදු වුණා. විශේෂයෙන්ම සමාජ ක්ෂේත්‍රයේ වියදම් සම්බන්ධව අවිනිශ්චිතතා මතු වුණා. සමහර ආණ්ඩු ව්‍යූහාත්මක වෙනස්කම් පදනම් කර ගනිමින් දශක ගණනාවක් තිස්සේ සමාජ සුභසාධන කටයුතු කප්පාදු කරමින් සිටිනවා. මෙවන් පසුබිමක ආණ්ඩුවේ පසුබෑම් හා ඉවත්වීම් නිසා ඇතිවන හිදැස පියවීම සඳහා පුද්ගලයන් ඒකරාශී කිරීමේ හා සම්පත් යෙදවීමේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට සේවා සංවිධානවලට සිදු වෙනවා.

නමුත්, මූල්‍ය විනය, අයවැය පාලනය සහ අයවැය පරතරය අවම කිරීම යන්නෙන් අදහස් කරන්නේ ආණ්ඩුවකට සිය සමහර සමාජ සුබසාධන වගකීම් අතහැර දැමිය හැකි බව නොවෙයි. එයින් අදහස් කෙරෙන්නේ සේවා සංවිධාන සමග හවුලේ කටයුතු කිරීම හෝ යම් යම් සේවාවන් ඉටු කිරීම සඳහා සේවා සංවිධානවල සේවය වෘත්තීයමය පදනමින් ලබා ගැනීම වැනි පියවර පිළිබඳව සිතා බැලිය යුතු බවයි. එය වඩාත් ඵලදායී ලෙස සේවා සැපයීමේ ක්‍රමවේදයක් විය හැකියි. එසේම රාජ්‍ය සේවය ද, ප්‍රතිපල ඉලක්ක කරගත්තක් බවට පරිවර්තනය කළ යුතුයි. ඒ ඔස්සේ සුබසාධන සේවා ඉටුකිරීමේ යුතුකම වඩාත් අඩු පිරිවැයකින් සිදු කිරීමේ ක්‍රමවේදයක් සකසා ගත හැකියි.

මෙම නව ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක කරලීමට නම්, ආණ්ඩු සහ සේවා සංවිධාන අතර සමීප සහයෝගීතාවක් අවශ්‍යයි. එසේම එක් එක් සංවිධාන ක්‍රියාත්මකවන ක්ෂේත්‍රයන් අතර සබැදියාවන් හා මිශ්‍රණයන් පවතින නිසා ඒ සංවිධාන අතර තරඟකාරීත්වය, එකම කාර්යය නැවත නැවත සිදු කිරීම හා ආකඣලතාවන් වළක්වා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මෙහිදී ආණ්ඩුවට සේවා සංවිධානවල විශේෂඥතා හඳුනාගෙන ප්‍රයෝජනයට ගන්නට හැකියි. නමුත් අවශ්‍ය නම් සංවිධානවල ස්වාධීනත්වය නීතියෙන් වුවද තහවුරු කිරීම මෙහිදී වැදගත් වෙනවා.

සේවා සංවිධානවලට කළ හැකි තවත් කාර්යයක් වන්නේ ස්වකීය විශේෂඥතාව පවතින ක්ෂේත්‍රයේ රජයේ ආයතන ක්‍රියාකාරකම් පිළිබඳ අධීක්‍ෂණ මණ්ඩලයක් වශයෙන් නිල මට්ටමින් ක්‍රියාත්මක වීමයි. ඉන්දියාව වැනි රටවල මෙය දැනටමත් සිදු වෙනවා. උදාහරණයක් වශයෙන් ඉන්දීය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ඇතැම් වැඩසටහන් පොදු භාරයක් මගින් අධීක්‍ෂණය කෙරෙනවා. මෙවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙද්දී, රාජ්‍ය ආයතනයන් ස්වකීය කාර්යක්ෂමතාව හා ඵලදායීතාව නංවන්නට නිසැකවම කටයුතු කළයුතු වෙනවා.

වෙනස්වීමේ කාලය එළැඹඇති බැවින්, ආණ්ඩු මෙන්ම සේවා සංවිධානත් තමන් දෙසම අවධානය යොමු කළ යුතු වෙනවා. අභ්‍යන්තර වෙනස්කම් වලට මුහුණදීමටත්, ඒවාට සංවේදීවීමටත් ශක්‍යතාවක් අපට තියෙනවාද? විශාල කාර්ය භාරයක් සිදු කළ යුතු ක්ෂේත්‍රයක් වන්නේ ආණ්ඩුවේ හා සේවා සංවිධානවල කාන්තා නියෝජනයයි. කාන්තාවන් සම්බන්ධ කරගත යුත්තේ සාමාජිකාවන් හා සහය කණ්ඩායම් ලෙස පමණක් නෙවෙයි. ප්‍රාද්ශීය මට්ටමේ මෙන්ම ඉහළ මට්ටම් වලද නිලධාරිනියන් වශයෙනුයි. පසුගිය දශක කීපය තුළ වෘත්තිකයන්, ව්‍යවසායකයන්, සමූහ ක්‍රියාකාරිනියන් වශයෙන් සිය ශ්‍රම බලකායට කාන්තාවන් එක් කර ගැනීමට රොටරි සමාජ යම් යම් පිළිවෙත් ගත් බව මා දන්නවා. ඒ නිසා දැන් අවශ්‍ය වන්නේ රොටරි සංවිධානයේ සෑම මට්ටමකම කාන්තා සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම සහතික කැරෙන ප්‍රතිපත්තිමය තීන්දුවක් ආයතනයේ ඉහළම මට්ටමින් ගැනීමයි.

ජංගම දුරකථන හා අන්තර්ජාල සබඳතා පුළුල් වීමත්, සමාජ මාධ්‍ය ජාල ප්‍රසාරණය වීමත් සමග අවිධිමත් ස්වේච්ඡා ක්‍රියාකාරීන්ගේ කාර්ය භාරය පුළුල් වෙමින් පවතිනවා. ඩිජිටල් යුගය නිසා අන්‍යෝන්‍ය සංනිවේදනයේ පමණක් නොව ක්‍රියාකාරීත්වයේද රැඩිකල් වෙනසක් ඇතිවී තියෙනවා. සමාජ මාධ්‍ය ජාල නිසා මුහුණට මුහුණ ලා ඇති කර ගන්නා සබඳතාවන් පසුකරමින් අප ඉදිරියට ගොස් තිබෙනවා. අසල්වැසි සම්බන්ධය ඉක්මවා ගිය සීමා මායිම් නොමැති සම්බන්ධකම් කරා අප එළැඹෙමින් සිටිනවා.



එහෙත් ඒ සමගම සමාජ මාධ්‍යවල දුර්වලතා සහ අඩුපාඩු ඇති බව ද අප අමතක කළ යුතු නැහැ. සයිබර් අවකාශයේ විවිධත්වය පොහොසත් බව හා උද්වේගකර විනෝදය නිසා තරුණ පිරිස සමාජ යථාර්ථයෙන් දුරස්වෙමින් සිටින බව ඔබට අවබෝධ වී ඇති. එසේම ඔබේ සංවිධානය සඳහා තරුණයන්් බඳවා ගන්නටත් තරුණයන් ඉලක්ක කරන්නටත් ඔබ දැනටමත් පියවර ගෙන ඇති බවට ද සැකයක් නැහැ. සේවා සංවිධානයක සාර්ථකත්වය රදා පවතින්නේ ගෝලීය මට්ටමින් සිදුවන වෙනස්කම් වලට අනුව හැඩගැසීමටත්, තරුණ පරපුර සමග සමීප සම්බන්ධතා පැවැත්වීමටත් ඇති හැකියාව මතයි. ඉදිරි දශක කීපයේ සේවා සංවිධාන පවත්වාගෙන ඉදිරියට ගෙන යන්නේ වත්මන් තරුණ පරපුරයි. ඒ නිසා තරුණ පරපුර හැම විටම සේවා සංවිධානයන්හි කේන්ද්‍ර වගකීම් දරන්නන් බවට පත් කර ගත යුතුයි.

මේ රොටරි වසරේ ශ්‍රී ලංකාවෙන්  සභාපතිවරයකු ලබා දීමට හැකිවීම ගැන ලාංකිකයන් වශයෙන් අප ආඩම්බර වෙනවා. ඔහු දැනටමත් රොටරි අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම් දින පහේ සිට තුන දක්වා අඩු කිරීමෙන් වියදම් අඩු කිරීමට පමණක් නොව කුසලතා හඳුනා ගැනීම සඳහාත් පියවර ගෙන තියෙනවා.  එහෙත් ජුනි මාසයේ දී රොටරි වසර සම්පූර්ණ වූ පසු ඔහුව ආපසු ලබා ගැනීමට අපි සතුටින් බලා සිටිනවා.

ඉදිරි වසර වලදී රොටරිය සමග අපේ ඓතිහාසික බැඳීම තවදුරටත් ශක්තිමත් කරගැනීමටත්, අපේ කාලයේ අභියෝග ජයගනු වස් නව හවුල්කාරත්ව ගොඩනගා ගැනීමටත් බලාපොරොත්තු වනවා.  107 වැනි ජාත්‍යන්තර සමුළුව ඉතා සාර්ථක වේවා යැයි මා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.”

Share on Google Plus