අගමැති අන්දයි අගමැතිත් අන්ධයි.


පසුගිය වසරේ ජුනි මාසයේ දී අගමැතිවරයා විසින් විවෘත කරනු ලැබූ ‘ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය’ මේ වන විට කිසිදු ඵලදායී කටයුත්තකට නොගෙන වසා දමා ඇතැයි දැන ගැනීමට තිබේ.

මෙම බේරුම්කරණ මධ්‍යස්ථානය ඉදිකිරීමේ යෝජනාව 2012 වසරේ දී එවකට සිටි අධිකරණ ඇමැතිවරයා මඟින් ඉදිරිපත් කරනු ලැබ තිබූ අතර මෙරටට කිසිසේත්ම අදාළ නැති කටයුත්තක් බවට අධිකරණ හා ආයෝජන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් විසින් පෙන්වා දෙනු ලැබිණ.

එමෙන්ම මෙම මධ්‍යස්ථානය ගොඩනැගීම ජාවාරම්කාර කටයුත්තක් බව ද මේ වන විට අනාවරණය වී ඇත. ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය පිහිටුවීමේ දී 2015 නොවැම්බර් 03 දින විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විගණන විමසුමේ පෙන්වා දී ඇත්තේ ආයතනය පිහිටුවීමේ දී කොන්ත‍්‍රාත්කරුට රුපියල් මිලියන 31.4ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බවයි.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලූනේ 6 වන මහලේ මෙම කාර්යාලය ස්ථාපිත කර ඇත. ඒ සඳහා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ වසර තුනකට බලපවත්වන ගිවිසුමක් ද අත්සන් කර ඇත.

මෙම මධ්‍යස්ථානයේ මාසික කුලිය රුපියල් 2,721,591.76 කි. මීට අමතරව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලූනේ 22 වන මහල ද ඕවර්සීස් රියලට් (සිලෝන්) පෞද්ගලික සමාගමෙන් වසර තුනක කුලී පදනමක් මත ලබා ගෙන තිබූ අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුපියල් 69,404,229ක මුදලක් වැය කර ඇත.

බේරුම්කරණ මධ්‍යස්ථාන පිහිටුවීමේ දී නීති විරෝධී සහ රාජ්‍ය මුදල් අවභාවිත කිරීම ගැන චෝදනා රැසක් තිබිය දී පසුගිය වසරේ දී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම ආයතනය හදිස්සියේම විවෘත කරන ලදී. නමුත් මේ වන විට මිලියන ගණනින් මාසික කුලිය ගෙවමින් තිබුණ ද එය වසා දමා ඇත.

කෙසේ නමුත් මේ අක‍්‍රමිකතාවට සම්බන්ධ වූ පසුගිය ආණ්ඩුව සමයේ නිලධාරීන්ම වත්මන් ආණ්ඩු සමයේ ද එම බලතල දරන බැවින් ඔවුන් මේ අක‍්‍රමිකතා යටපත් කිරීමට සමත් වී සිටින බව දැනගැනීමට තිබේ.

- දයා නෙත්තසිංහ
SathHanda

Share on Google Plus