පාර්ලිමේන්තුවේ දී ගැහුවේ කාටද? වැදුනේ කාටද?


නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් තමාට එල්ල කළ පහරක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සන්දීත් සමරසිංහ මහතට වැදුණු බැවින් ඊයේ (03දා) පාර්ලිමේන්තුවේදි ඔහු බිම ඇදවැටුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පැවසීය.

ඒකාබද්ධ විපක්ෂය පාර්ශ්වයෙන් සන්දීත් සමරසිංහ මන්ත්‍රීවරයාට පහරදුන් බවට ආණ්ඩුව අසත්‍ය ප්‍රචාරයක් ගෙන යන්නේ මෙම කරුණ වසන් කරමින්  බවද රණවීර මහතා කියා සිටියේය.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කිරීමෙන් පසුව මන්ත්‍රීවරු සියලු දෙනා සභා ගර්භය මැද්දට ආවා. එහිදී යම්කිසි කතාබහක් ඇතිවුණා. ඒ අවස්ථාවේ පාලිත තෙවරප්පෙරුම  මන්ත්‍රීතුමා මම ළඟ සිටියදී මට ගැහුවා. ඒ වෙලාවේ මම  පහත් වුණා. සන්දීත් මන්ත්‍රීතුමා තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා ළඟ හිටියේ. තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ගහපු පාර තමයි සන්දීත් මන්ත්‍රිවරයාට වැදුණේ. එවේලේ මම පහත්වුණාම සන්දීත් මන්ත්‍රීතුමාට ඒ පහර  වැදුණා.

ඒ වෙලාවෙ මගේ ඇඟටත් පහර කිහිපයක් වැදුණා. අපි දෙගොල්ලොම සභා ගර්භයේ හිටියා. මගේ මූණට, අතට පහරවල් කිහිපයක් වැදුණට ලොකු ආබාධයක් නැහැ. ඊටපස්සෙ දෙගොල්ලොම පොර බදන්න වුණා. මුලින්ම පහරදුන්නෙ පාලිත තෙවරප්පෙරුම  මන්ත්‍රීවරයා බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. දැන් ආණ්ඩුව පැත්තෙන් කියනවා අපි ගැහුවා කියලා. ඒක ඇත්තද කියලා වීඩියෝ දර්ශන තියෙනවා නම් බලන්න පුළුවන්. ආණ්ඩුව හැමදාම චණ්ඩිකම් කර කර ඒකාබද්ධ විපක්ෂය කළා කියනවා. නමුත් ඇත්ත තත්ත්වය ඔක්කොම දන්නවා" යනුවෙන්ද ඔහු කියා සිටියේය.

මේ අතර පාර්ලිමේන්තුව තුළදී තමා කිසිවෙකුට පහර නොදුන් බවත්, පහරදීමක් සිදුකළා නම් පහරකෑ පුද්ගලයාට නවතින්නට සිදුවන්නේ හදිසි අනතුරු වාට්ටුවේ නොව ශල්‍යකර්ම ඒකකයේ බව වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කළේය.

අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සභාව අමතමින් සිටියදී ඒකාබද්ධ  විපක්ෂය යැයි කියාගන්නා කණ්ඩායම චාරයක් නොමැතිව 'උඹ බන් බොලව්, ඕකට කියපන් කතාව නවත්වන්න' ආදී ලෙස කෑ ගැසූ බවත්, කථානායකවරයාටද එම වචන කියමින් කෑ ගැසූ බවත් ඔහු පවසා සිටියේය.

එම අවස්ථාවේදී තමන් ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගෙන් 'ඔය දේවල් කරන්නේ මර්වින්න් සිල්වාගෙන් ඉගෙනගත් දේවල් නිසාදැ' යි විමසූ බවත්, ඒ අවස්ථාවේදී මන්ත්‍රීවරයා  පැනගෙන විත් තමාට පහරදීමට උත්සාහ කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එම අවස්ථාවේ තුවාල ලැබූ මන්ත්‍රීවරයා ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා අල්ලාගැනීමට යාමේදී බිම වැටුණු බවත් එවිට මන්ත්‍රීවරයාගේ මුහුණට පහරදී ඇති බවත් ඔහු පවසා සිටියේය.

එම අවස්ථාව වනවිට තමාද යම් පිරිසක් අල්ලාගෙන සිටින අතර, කිසිදු පහරදීමක් සිදුනොකළ බවත්, පොදු විපක්ෂය යැයි කියාගන්නා කණ්ඩායම පාර්ලිමේන්තුවේ අයිතිකාරයන් බවට පත්ව තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 


Share on Google Plus