අපේ රටේ ඊළඟට 'නාය යන ප්‍රදේශ' මෙන්න.


ඉදිරියේදී මෙරට නාය යා හැකි ස්‌ථාන ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක්‌ ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හඳුනාගෙන ඇත. සිය සංවිධානය දිගුකලක සිට සිදුකළ පරීක්‍ෂණවලින් මෙම ස්‌ථාන හඳුනා ගත් බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ජාතික ගොඩනැඟිලි හා පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය පත්මකුමාර ජයසිංහ මහතා පැවැසීය.

බදුල්ල, නුවරඑළිය, මහනුවර, හම්බන්තොට, මාතර, ගාල්ල, කළුතර, රත්නපුර, මාතලේ, කෑගල්ල, කුරුණෑගල, මොනරාගල යන දිස්‌ත්‍රික්‌ක දොළහා තුළ එම ස්‌ථාන හඳුනාගෙන ඇති බව හෙතෙම කියා සිටියේය.

මින් වැඩිම අවදානමක්‌ ඇති දිස්‌ත්‍රික්‌ක වන්නේ බදුල්ල, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, කළුතර හා මොනරාගල වන බව ආචාර්ය පත්මකුමාර ජයසිංහ මහතා කියා සිටියේය. නාය යැ හැකි යෑයි හඳුනාගෙන ඇති ප්‍රදේශයන්හි කොපමණ ජනගහනයක්‌ වාසය කරන්නේද යන්න ගණනය කරමින් ඇතැයිද එම සංඛ්‍යාව ලක්‍ෂ ගණනක්‌ වනු ඇතැයිද හෙතෙම කීය. වැඩිම අවදානම් කලාප පිළිබඳව නිශ්චිතවම සඳහන් කළ නොහැකි බවත් එය වර්ෂාපතනය, භූමි පරිභෝජනය, බෑවුම සහ තවත් සාධක කිහිපයක්‌ මත තීරණය වන බවත් හෙතෙම කියා සිටියේය.

සිය සංවිධානය විසින් නාය යැම් අනතුරු අඟවා ඇති ප්‍රදේශවල ජනතාව නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බවත් නාය යැමේ පූර්ණ සලකුණු මතුවන්නේ නම් එම භූමියෙන් වහා ඉවත් වීමට කටයුතු කරන ලෙසත් හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක්‌ කළේය.

නාය යැම් වළක්‌වා ගැනීම සඳහා විදෙස්‌ තාක්‍ෂණය හා නවීන තාක්‍ෂණය භාවිතා කරමින් සිටින බවත් ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය පත්මකුමාර ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

Share on Google Plus