මහින්ද පිළෙන් මෛත්‍රීට යෝජනාවලියක්.


ශ්‍රීලනිප මහින්ද පාර්ශ්වය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. එජාපය හා ශ්‍රීලනිපය අතර ප්‍රතිපත්තිමය එකඟතාවය මත ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා මෙම යෝජනාව මාලාව උපයෝගී කරගත යුතු බවයි එම පාර්ශ්වය පවසන්නේ.

පසුගිය මැයි දිනයේදී මහින්ද පාර්ශ්වය වෙනම මැයි රැළියක් සංවිධානය කළ අතර එය අසාර්ථකවීමෙන් පසු අලුත් පක්ෂයක් ගොඩනැගීම පසෙක තබා නැවත ශ්‍රීලනිපය හා එක්ව කටයුතු කිරීමට එම පාර්ශ්වය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් උත්සාහ දරන්නේ නැවත ජනාධිපතිවරයා හා එකඟතාවයකට පැමිණ ඒ හරහා යහපාලන ආණ්ඩුවට එක්වීමටයි.

වත්මන් ජාතික ආණ්ඩුව ශ්‍රීලනිප ප්‍රතිපත්ත පසෙක තබා එජාප ප්‍රතිපත්ති පමණක් අනුගමනය කරන හෙයින් මෙවැනි යෝජනාවලියක් හරහා පක්ෂ දෙක ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණිය යුතු බව මහින්ද පාර්ශ්වයේ අදහසයි. ඒ අනුව එවැනි ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණෙන්නේ නම් මහින්ද පාර්ශ්වය ජාතික ආණ්ඩුවට සම්බන්ධ වී තනතුරු ලබාගැනීමේ සූදානමක සිටී.

අදාල යෝජනාවලියේ සඳහන් කරුණු කිහිපයක් මෙසේය 

01. රට නංවන ආර්ථික වැඩසටහන, (චීනය සමඟ වන ආර්ථික සම්බන්ධතා වර්ධනය කර ගැනීම සහ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සංයුක්ත සැලැස්මක් සකස් කිරීම) 

02. යුද්ධය ආශ‍්‍රිත සිද්ධිවලට ගන්නා  ක‍්‍රියාමාර්ග (යුද සමයේ දී වූ සිදුවීම්වලින් හමුදා භටයන් නිදහස් කිරීම, පොදු සමාවක් යටතේ එල්ටීටීඊ සාමාජිකයන් නිදහස් කිරීම, යුද්ධයට සම්බන්ධව සිට වරදකරුවන්ව සිර දඬුවම් විඳින්නන්ට සහන ලබා දීම හා ක‍්‍රමාණුකූලව නිදහස් කිරීම, යුද්ධයට ඍජු සම්බන්ධයක් නැති මානව හිමිකම්වලට අදාළ සිදුවීම සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් සිදු කර දඬුවම් ලබා දීම. )

03. ජාතික ගැටලූවට විසඳුම (ජාතික ප‍්‍රශ්නයට දිගුකාලීන විසඳුමක් වෙනුවෙන් සංවාදයක් ආරම්භ කිරීම, 13 ව්‍යවස්ථාවෙන් පැවැරී ඇති බලතල තවදුරටත් පළාත් සභාවන්ට පැවරීම, පළාතේ බහුතරය ලබා ගන්නා පක්ෂ නියෝජිතයන්ට විධායකයට සම්බන්ධ වී පළාතේ සංවර්ධනයට අදාළව බලය හසුරුවන ක‍්‍රමවේදයක් සැකසීම,  පළාත් නියෝජිතයන් ද ආශ‍්‍රිතව ජාතික සැලසුම් කොමිසමක් ස්ථාපිත කර ඉඩම් නැති ජනතාවට ඉඩම් ලබා දීමේ ක‍්‍රමවේදයක් සැකසීම.)

04. විධායක ජනාධිපති ධුරය වෙනස් කිරීම (විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම නොකර එහි බලතල අඩු කොට පවත්වාගත යුතු අතර මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමක් විය යුතුය.) 

05. ඉන්දු ලංකා වෙළෙඳ ගිවිසුම (මෙය ශ‍්‍රී ලංකාවට අවාසිදායක බැවින් ඒ පරාජය කළ යුතු වේ. රටවල් දෙකටම වාසිසහගත නව ගිවිසුමකට යාම අවශ්‍යය.)

06. දූෂණය පිටුදැකීම (බරපතළ මූල්‍ය වංචාවන්ට ඍජු සම්බන්ධයක් නැති චෝදනා විමර්ශනයෙන් චූදිතයන්ට වන හිරිහැර වැළැක්විය යුතුය. හඳුනා ගත් බරපතළ දූෂණ හා වංචාවන්ට අදාළ තීරණාත්මක චෝදනා පමණක් ඉදිරියට ගෙන ආ යුතුය.)

මෙම ප්‍රධාන යෝජනාවලට අමතරව වස විස නැති රටක්, ප‍්‍රවාහනය, විදුලි අර්බුදය සහ නිල ඇඳුම්, අධ්‍යාපනය හා රැකියා සම්බන්ධයෙන් යෝජනා හතරක් ද මෙහි අඩංගුය. මෙම ප‍්‍රතිපත්තිමය එකඟතාවලට පිවිසීම වෙනුවෙන් මෛත‍්‍රී පාර්ශ්වයේ සහ මහින්ද පාර්ශ්වයේ විද්වත් මණ්ඩල නියෝජනය කරන පිරිසක් සහභාගි වී ඇත.

Share on Google Plus