බලයෙන් මත්වීම විනාශයට හේතුවක් - මහින්ද.


"පසුගිය දා ඇති වූ ගංවතුරට එක එක ප්‍රදේශ හසු වුණා. ඒ වේලාවේ අවතැන් අය වෙනුවෙන් ජනමාධ්‍ය ආයතන මැදිහත් වුණා. මාධ්‍ය ආයතනවල ඉල්ලීමට රජය මැදිහත් වෙන්න කලින් ජනතාව මැදිහත් වුණා. මොන ප්‍රශ්න තිබුණත් දුකේ දී පිහිට වෙන්න අපේ දහම අපට කියා දී තියනවා." යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

අහංගම වැලිවත්ත සිරි තිලකවර්ධනාරාම විහාරස්ථානයේ ඉදි කරන ලද දාහතර රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම නිමිත්තෙන් පැවැති උත්සව සභාව අමතා ඒ මහතා මේ බව කීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

"පන්සල දියුණු නම් ගමත් දියුණුයි. විහාරස්ථානයට ඇවිත් මහා සංඝරත්නයට ගෞරව කරන්න අපට වේලාවක් වෙන් කර නැහැ. වේලාවට පන්සල් යා යුතුය කියා නැහැ. නමුත් වෙනත් ආගම්වල සිකුරාදා ඉරිදා පල්ලියට යන්න ඕන. අපට එහෙම නැහැ. පෝය දිනය නිවාඩු දුන්නෙ ගෙදර ඉන්න හෝ නෑගම් යෑමට නොව විශාල බලාපොරොත්තු තියාගෙන සතර පෝයට පන්සල් යන්න. අපේ දුර්වලකම් හදා ගන්න ඕන.

අපට පන්සල කෙරෙහි විශ්වාසයක් තියනවා. අද හාමුදුරුවරුන්ට හිරේ යන්න වෙලා.අද සංස්කෘතික පෙරහරකට පන්සලකට අලියෙක් ගේන්න විදියක් නැහැ. මට එක හාමුදුරුනමක් කීවා මට අලියෙක් හම්බවුණේ නැති නිසා මී හරක් දෙන්නෙක් දක්කා ගෙන එනවා කියලා. අපේ සංස්කෘතික අංග ක්‍රියාත්මක කරන්න අද යම් යම් බලවේග ඉඩ දෙන්නේ නැහැ. විශේෂයෙන් අපි කළගුණ දන්න මිනිස්සු. නමුත් අප අතර කළගුණ නොදන්න අයත් සිටිනවා. සමහර වෙලාවට අප වර්ණනා කරනවා. අපෙන් උදව් ගන්නවා. ඊට පස්සෙ අනිත් පැත්තට හැරිලා අපට ගරහනවා.

යමෙක් බලයෙන් මත් වූ විට ඒක රටෙත් තමාගේත් විනාශයට හේතු වෙනවා. ඒ නිසා ඒ පිළිබද අවධානය යොමු කරන්න ඕන. පසුගිය දා මහ ගංවතුරකට ප්‍රදේශ රාශියක් හසු වුණා. ඒ අය වෙනුවෙන් ජනමාධ්‍ය ආයතන ඉදිරිපත් වුණා. ඒ ආයතනවල ඉල්ලීම අනුව රජය මැදිහත් වෙන්න කලින් ජනතාව මැදිහත් වී ඒ අයට උපකාර කළා." රන්නේ විමලරතන හිමි ද මෙහි දී අදහස් දැක්වූහ.


Share on Google Plus