මහින්ද වෙනුවෙන් යහපාලනය නීති කඩයි - ජපානේටත් සංචාරයක්.


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට උගන්ඩාවේ සංචාරය සඳහා විදේශ අමාත්‍යංශය හරහා මුදල් ලබා දී ඇත්තේ එහි ඇති නීතියට පටහැනිව ක්‍රියාකර බව වාර්තා වේ.

පසුගියදා උගන්ඩාවේ සංචාරය කළ මහින්ද රාජපක්ෂ මහතාට ගුවන් ටිකට් පත්, නවාතැන් පහසුකම් සහ ආහාර පාන සඳහා වියදම් ශ්‍රී ලංකා රජයෙන් දරා තිබුනි.

රාජ්‍ය මට්ටමින් ලැබුණු නිල ආරාධනාවක් නොමැතිව පෞද්ගලිකව  මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු ආරාධනාවකට විදේශ අමාත්‍යංශය හරහා මුදල් ලබාදීම නීතියට පටහැනිව ක්‍රියාකිරීමකි.

හිටපු ජනාධිපතිවරයෙකුට විදේශ සංචාරයක් සඳහා අවශ්‍ය වියදම් රජයෙන් දැරීමට අවකාශ ඇති මුත් ඒ සඳහා නිල ආරාධනාව ලැබිය යුත්තේ අදාළ රටෙහි පවතින තානාපති කාර්යාලය මගින් විදේශ අමාත්‍යංශයටය.

එවැනි කිසිදු නිල ආරාධනාවක් නොමැතිව ලැබුණු සංචාරය සඳහා විදේශ අමාත්‍යංශය විසින් මැයි මස 05 වෙනිදා අංක 73835 දරණ ඉන්වොයිස්  පත මගින් පර්සි මහේන්ද්‍ර පෙරේරාට රුපියල් 4,25,000 වියදම් කර එමිරේට්ස් ගුවන් සමාගමේ පලමු පන්තියේ ගුවන් පතක් ලබා දී තිබේ. අදාළ  ඉන්වොයිස් පත පෙන්වා දෙන්නේ කොළඹ 05, හැව්ලොක් පාරේ, අංක 62, World Air (Pvt.) Ltd නැමැති ආයතනයෙන් මෙම ටිකට් පත මිලදී ගෙන ඇති බවයි.

රටේ සිටින ජනාධිපතිවරයාට, විදේශ අමාත්‍යවරයාට, විදේශ ලේකම්වරයාට හෝ නීති සම්පාදකට කිසිදු ආරාධනයක් නොකොට හිටපු ජනාධිපතිවරයාට පමණක් සිදු කර ඇති පෞද්ගලික ආරාධනය සඳහා මුදල් ප්‍රතිපාදන රජයෙන් ලබා ගැනීම සඳහා විදේශ අමාත්‍යංශය යුහුසුළු විය.

 එනම් මහින්ද මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වන උදිත ලොකු බණ්ඩාර විසින් මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රතිපාදන සපයා දෙන මෙන් විදේශ අමාත්‍යංශ ලේකම් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මියගෙන් මැයි මස 05 වෙනිදා ලිඛිතව ඉල්ලා ඇත. ඒ අනුව එදිනම ගුවන් ටිකට් පත් සඳහා මුදල් ලබා දීමය විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගත්තේය.

එරට තානාපති කාර්යාලය හරහා රාජ්‍ය මට්ටමින් ආරාධනා නොලැබීම යනු රාජ්‍ය තාන්ත්‍රිකව මෙරටට සිදුවූ මදිපුංචිකමකි. එවැනි  කාරණයක් තානාපති කාර්යාලයක් අදාල රටෙන් ඉවත්  කර ගැනීමට තරම් හේතුවක් වේ.

අපට දැන ගැනීමට ලැබී ඇති තොරතුරු අනුව රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිල සංචාරයන් සඳහා පවා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් මුදල් ප්‍රතිපාදන ලැබී නැත.

දූෂනය පිටු දැකීමට මෙතරම් වෙහෙසක් දරණ යහපාලන ආණ්ඩුව විදේශ කටයුතු අමාත්‍යංශය මෙසේ නීතියට එපිටින් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව අප වෙත අදහස් දැක්වූ විදේශ අමාත්‍යංශයේ හිටපු ප්‍රධානියෙකු පැවසීය.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් ජුනි මස 10 වැනිදා ජපානයේ සංචාරයක නිරතවීමට නියමිත බව ඔහුගේ සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ලබන සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපන් රජයේ ආරාධනාවෙන් එරටෙහි නිළ සංචාරයක නිරතවීමට නියමිත වේ. එම සංචාරයට එකට එක කිරීමක් වශයෙන් විමල් වීරවංශට හිතවත්, ජපානයෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් හිටපු ජනාධිපතිවරයාව එරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා තිබේ.

පසුගියදා මෙකී පිරිස විසින්ම විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන හා ගෝඨාභය රාජපක්ෂ එරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ අතර රෝහිත අබේගුණවර්ධන වැන්නවුන් සමග තමාට ගනුදෙනුවක් නැතැයි කියමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා එම ආරාධනාව කාරුණිකව ප්‍රතික්ෂේප කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඒකාබද්ධ විපක්ෂයේ කිහිප දෙනෙකුම මෙම සංචාරයට එක්වීමට නියමිත බව සඳහන් වේ.

-LNW ඇසුරිනි.


Share on Google Plus