ඒකාබද්ධ විපක්ෂය කියන්නේ රැකියා විරහිත රාජපක්ෂවරුන්ගේ සංගමය.


රැකියා විරහිත රාජපක්ෂවරුන්ගේ සංගමය නොහොත් ඒකාබද්ධ විපක්ෂය ඔවුන්ට නැති වූ වරප්‍රසාද ලබා ගැනීමේ මෙහෙයුමක් දියත්කර ඇති බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මන්ත්‍රීවරුන් ටික දෙනකු තබාගෙන ඔවුන් ආණ්ඩු පෙරළීමට උත්සාහ කරන බව පැවසූ ඇමැතිවරයා ඉදිරියේ දී එම කණ්ඩායමෙන් ද කොටස් ගැලවෙමින් ආණ්ඩු පක්ෂය වෙත පැමිණෙන බව කීය.

පැනමා පත්‍ර පිළිබඳ නිසි ක්‍රමවේදයන් රජය අනුගමනය කරනවා. අදාළ නම් ලැයිස්තු පිළිබඳ නිලධාරීන් කටයුතු කරනවා. උගන්ඩාව පිළිබඳ විවිධ ගැටලු තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා අතීතයේත් එවැනි රාජ්‍ය සමඟ සබඳතා පැවැත්වූවා. චෝදනා එල්ලවී ඇති රුසියාවේ හිටපු තානාපතිවරයා හිටපු ජනාධිපතිවරයා හමුවීම පිළිබඳ සොයා බලනවා යැයි පැවසූ ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඉතා ඉක්මනින් බොහෝ ගැටලුසහගත තත්ත්වයන්ට පිළිතුරු ලැබෙනු ඇති බව ද ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ කාර්යය භාරය විය යුත්තේ හිටපු ජනාධිපතිවරයාගේ පහසුකම් වෙනුවෙන් පෙනී සිටීම ද රටේ ජනතාවගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටීම ද යනුවෙන් ඇමැතිවරයා ප්‍රශ්න කර සිටියේය. අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ ( 10) පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා,

ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කරනවා. එතුමාට තිබෙන යාන වාහන, නිවාස පිළිබඳ සොයනවා. අපි හිටපු ජනාධිපතිවරයාට නිසි ආරක්ෂාවක් ලබා දීල තිබෙනවා. නිසි ප්‍රභූ ආරක්ෂාවක් නොලැබූ හමුදා භටයන් වෙනුවට නියමාකාරයෙන් ප්‍රභූ ආරක්ෂක පුහුණුවක් ලැබූ කණ්ඩායමක් ලබා දී තිබෙනවා. අවශ්‍ය නම් අපේ ජනාධිපතිවරයාටත් වඩා ආරක්ෂාවක් හිටපු ජනාධිපතිවරයාට ලබාදීමට රජය සූදානම්. විශේෂ කාර්යය බළකාය කියන්නෙ ප්‍රභූ ආරක්ෂව පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබූ කණ්ඩායමක්. ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට තිබෙන්නෙත් එස්. ටී.එෆ් ආරක්ෂාව. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආරක්ෂාව පිළිබඳ විවිධ දේ ප්‍රකාශ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් උත්සාහ කරන්නෙ එතුමාගේ ආරක්ෂාව බිඳ දමා ඔහුව විනාශ කර දැමීමට දැයි යන සැකය ඇති වෙනවා.

පසුගිය රජය ෆොන්සේකා , ජානක පෙරේරා මහත්වරුන්ට සලකපු ආකාරය අපට මතකයි. ඒකාබද්ධ විපක්ෂයට තිබෙන්නෙ ජනතා න්‍යාය පත්‍රයක් නොවේ. හැබැයි වත්මන් රජය එම න්‍යාය පත්‍රයට කිසි විටෙකත් ඉඩ තියන්නෙ නැහැ. අප උත්සාහ කරන්නෙ ජනතාවට සෙත සලසන්න. තරුණ තරුණියන්ට රැකියා ඇති කරන්න.

පසුගිය රජය කාලයේ ශ්‍රී ලන්කන් ආයතනය විශාල ලෙස පාඩු ලැබුවා. තවත් ආයතන ගණනාවක පාඩු සිදුවුණා. මේවා ලාභ ලබන තත්ත්වයට පත් කරන්න ඕනෙ. අප නිරන්තරව උත්සාහ කරන්නෙ ජනතාව මත වැඩි බදු බරක් පටවන්නේ නැතිව කටයුතු කිරීමටයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැනි ආයතන හරහා අපට මුදල් ලැබෙනවා. බොහෝ ගැටලුවලට පිළිතුරු ඉදිරියේ දී අපට ලබා ගත හැකියි.

වත්මන් ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන පවත්වන්නෙ නැහැ. නිවැරැදි වැඩ පිළිවෙළක් ඇතිවයි රට මෙහෙය වන්නෙ. ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් මන්ත්‍රීවරු ටික දෙනකු තබා ගෙන ආණ්ඩු පෙරළන්න උත්සාහ කරනවා. කිසිම බයක් සැකක් නැතිව සිටින්න කියා අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අනිවාර්යයෙන්ම ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ඨ කරනවා.

ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් විවිධ සංදර්ශන දැක්වූවා කියා රජය පෙරළා දමන්න බැහැ. අපට ශක්තිමත් බලයක් තිබෙනවා. වෘත්තීය සමිතිවලට ගැටලු තිබෙනවා නම් අප සමඟ කතා කරන්න පුළුවන්. හැබැයි සමහරු කියන කියන ආකාරයට කටයුතු කරන්න අමාරුයි. ජී. එස්. පී සහනය පිළිබඳ සාකච්ඡා කරනවා.

Share on Google Plus