මහරගම පොලීසිය හිසේ ඇම්මට, කොට්ටේ මාරු කරලා.


රාත‍්‍රී කාලයේ සිට අලුයම දක්වා විවෘත කර තැබෙන වෙළෙඳසැල්වලට මහරගම පොලිස් බලප‍්‍රදේශය තුළ විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. 

ඒ, අදාළ බලප‍්‍රදේශය තුළ පවත්වාගෙන යන ආපනශාලා අලුයම 1.00 ට වසා දැමිය යුතු බවටයි. මහරගම පොලිසිය විසින් සියලුම රාත‍්‍රී වෙළෙඳසැල් සඳහා මෙම දැනුම් දීම සිදුකර තිබෙනවා.

වෙළෙඳසැල් හිමියන් පෙරළා ප‍්‍රශ්න කරන්නේ කඩ ලෙස පවත්වාගෙන යන සිය ආපනශාලා අලුයම 1.00 ට පමණ වසා දැමීමට නියම කළහොත් දැඩි අපහසුතාවකට පත්වන බවයි. තමන් වෙළෙඳසැල් විවෘත කරන්නේ සවස 5.00 න් පසුව බවයි ඔවුන් ප‍්‍රකාශ කරන්නේ. ඒවා යළිත් වසා දැමෙන්නේ අලුයම 4.00 ට පමණ බවයි වෙළෙඳසැල් හිමියන් පෙන්වා දෙන්නේ.

රාත‍්‍රී හෝටල්වල සේවය කරන පුද්ගලයින්ට වැඩි දීමනාවක් ගෙවීමට සිදුවන බවද වෙළෙඳසැල් හිමියන් පෙන්වා දෙනවා. බොහෝ පිරිසක් වෙනුවෙන් සේවා සපයන තමන්ට මෙම තීරණය නිසා දැඩි අසාධාරණයක් සිදුවන බවයි වෙළෙඳසැල් හිමියන් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් අප විමසීමක් කළා. ඔවුන් කියා සිටියේ ආරක්ෂක වැඩපිළිවෙළක් වශයෙන් මෙම තීන්දුව ගත් බවයි. රාත‍්‍රී වෙළෙඳසැල්වලට එකතු වන බොහෝ පුද්ගලයින් සමාජ විෂමාචාරවලට සම්බන්ධ පුද්ගලයින් බවයි එම පොලිස් නිලධාරීන් ප‍්‍රකාශ කළේ. එම නිසා මෙම තීන්දුව ගන්නා බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් වෙළෙඳසැල් හිමියන් ප‍්‍රකාශ කරන්නේ රටපුරා රාත‍්‍රී වෙළෙඳසැල් අලුයම 1.00 ට වසා දැමීමට නියම වුවහොත් දුර ගමන් සේවා පොදු ප‍්‍රවාහන කටයුතු ද නතර කිරීමට සිදුවනු ඇති බවයි. 

Share on Google Plus