බස්නාහිර පළාතේ ඉඩම් ගොඩකිරීම අද සිට තහනම්.


අනවසර පදිංචිවීම්වලට මින් මතුවට කිසිදු ඉඩක් ලබා නොදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

එමෙන්ම බස්නාහිර පළාතේ ඉඩම් ගොඩකිරීමත් අද සිට සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේය.

අයහපත් කාලගුණයත් සමඟ අනපේක්ෂිත අයුරින් සමස්ත දිවයිනටම මුහුණ දීමට සිදුවූ ආපදා තත්ත්වයට ප්‍රධාන හේතුව අනවසර පදිංචිවීම් සහ ඉඩම් ගොඩකිරීම බව අදාළ අංශ පෙන්වා දෙයි.

ඒ පිළිබඳ අවධානය යොමු කරමින් සමස්ත රටවාසී ජනතාවටම යළිත් මෙවන් පීඩාවකට මුහුණ දීමට සිදු නොවන අයුරින් රජයේ වගකීම් ඉටු කරමින් මෙම පියවර ගන්නා බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ හදිසි ආපදා තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ දී වැඩිදුරටත් අදාළ උපදෙස් ලබා දෙමිනි.

ගංවතුරින් සහ නාය යාම්වලින් ආපදාවට ලක්වූ ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කිරීමට ද මෙහි දී තීරණය කෙරුණු අතර එම ප්‍රදේශ නැවත ආපදාවන්ට ලක්වීමේ අවදානමක් පැවැතිය හැකි බැවින් සහ එම ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් එම පියවර ගන්නා බව සඳහන් කෙරිණි.

ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් ප්‍රදේශයන්හි නිවාසවල ජනතාව නැවත පදිංචිවීමට පෙර එම නිවාස නිසි තාක්ෂණික පරික්ෂණයකට ලක් කිරීමට ද ජනාධිපතිතුමා මෙහි දී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Share on Google Plus