යහපාලන ඇමතිවරු ඉල්ලා අස්වීම ඇරඹේ - පදිංචිකරවීම් රාජ්‍ය ඇමැති පෙරමුණ ගනී.


පුනරුත්තාපන හා යළි පදිංචිකරවීම් රාජ්‍ය ඇමැති ඒ.එල්.එම්.හිස්බුල්ලා මහතා සිය ඇමති තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර විදේශගතව ඇතැයි වාර්තාවේ.

නියමිත විෂය පථයන් මෙතෙක්‌ බෙදා වෙන් නොකිරීම නිසා ඊට විරෝධය පළකරමින් තවත් රාජ්‍ය ඇමතිවරු පිරිසක්‌ ඉදිරිදින කිහිපයෙහි දී සිය ධුරවලින් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇත.

පසුගිය කාලයේ පැවැති ඇමැති මණ්‌ඩල රැස්‌වීම් හයකදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ පිළිබඳව සාකච්ඡා කර කැබිනට්‌ ඇමැතිවරුන්ට අයත් විෂය පථයන්ගෙන් කොටසක්‌ රාජ්‍ය ඇමතිවරුන්ටද ලබාදෙන ලෙස ඔවුන්ට උපදෙස්‌ ලබාදුන්නද මෙතෙක්‌ ඒ සම්බන්ධව කිසිදු පියවරක්‌ ගෙන නොමැති බවට ඔවුහු චෝදනා කරති.

රාජ්‍ය ඇමතිවරු බොහෝ පිරිසකට අමාත්‍යාංශවලට පැමිණ නිකරුණේ කාලය ගතකිරීමට සිදුව තිබෙන බවත් ඇතැම් කැබිනට්‌ ඇමතිවරු තම ආයතනවල පැවැත්වෙන උත්සවයකටවත් ආරාධනා නොකරන බව අසහනයට පත් රාජ්‍ය ඇමැතිවරු පිරිසක්‌ ප්‍ර‍කාශ කර තිබේ.

මේ තත්ත්වය නිසා සුළු ජාතික පක්‌ෂ නියෝජනය කරන ඇතැම් රාජ්‍ය ඇමතිවරු අමාත්‍යාංශවලට පැමිණීම පවා නවතා ඇති බව ඔවුහු පවසති.

මේ අනුව මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කෙරෙනු ලබන 07 වැනිදාට පෙර ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී නැවත වරක්‌ මේ පිළිබඳව සාකච්ඡා කරන බවත් එහිදී විසඳුමක්‌ ලබා ගැනීමට නොහැකි වුවහොත් රාජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙක්‌ හැර සෙසු සියලුම ඇමතිවරු තනතුරුවලින් ඉල්ලා අස්‌වීමට තීරණය කර තිබේ.

Share on Google Plus