යහපාලන ආණ්ඩුවේ කූට උපායක් හෙළිවේ.


විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන්ට යළිත් වාහන බලපත‍්‍ර ලබා දීමට මුවා වී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තවත් සුඛෝපභෝගී වාහන බලපත‍්‍රයක් ලබා දීමට ආණ්ඩුව සූදානම් වන බව විපක්ෂයේ පිරිස් චෝදනා කරති.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සන්තෝසමක් ලෙස මෙය ලබා දී ඔවුන් සිය දේශපාලන න්‍යාය පත‍්‍රයට යොමුකර ගැනීමේ කූට උපායක් ආණ්ඩුව යොදා ඇති බවය.

මේ සම්බන්ධව අප කළ විමසුමක දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශ්වයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේ තීරු බදු රහිත මිලට මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන වාහන බලපත‍්‍රයට අමතරව තවත් සුපිරි වාහනයක් ලබා දීම වෙනුවෙන් කැබිනට් පත‍්‍රිකාවක් සකස් කර ඇති බවත් එම වාහන ලබා දෙන්නේ කාට කාටද යන්න තීරණය කිරීමේ අයිතිය පක්ෂ නායකයා ලබා ගෙන තිබීම තුළ ආණ්ඩුව විපක්ෂයේ මන්ත‍්‍රීවරු බිලිබා ගැනීමේ උත්සාහයක සිටින බවත් පැහැදිලිව පෙන්නුම් කරන බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් පළ කරමින් මන්ත‍්‍රීවරයා සඳහන් කරන්නේ මන්ත‍්‍රීවරුන්ට අල්ලස් දී තමන් වෙත දිනා ගැනීම දක්වා ආණ්ඩුව පහතට වැටී ඇති බවත් එවැනි උත්සාහ මඟින් කිසි විටෙකත් තම පාර්ශ්වයේ මන්තී‍‍්‍රවරු බිලිබා ගන්නට නොහැකි බවත්ය.

එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගෙන් විමසූ විට අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ආණ්ඩුව විසින් එවැනි තීරණයක් ගෙන ඇත්දැයි යන්න සම්බන්ධව තමන් දැනුවත් නොමැති බවය.

මේ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ද මාධ්‍ය හමුවක් පවත්වමින් විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන්ට නැවත වාහන බලපත‍්‍රය ලබා දීමට කැබිනට් තීරණයක් ගෙන ඇති බවත් වාහනයක් ගෙන්වා ගැනීමේ දී පෙර තිබූ ඩොලර් විසිපන්දහසේ සීමාව, ඩොලර් තිස්පන්දහස දක්වා වැඩි කරන්නටත් පෙර අය කළ බද්ද වූ සියයට 65 සංශෝධනය කර එය සියයට 40 දක්වා අඩු කරන්නටත් එහි දී තීරණය වූ බව පැවසීය.

මීට අමතරව විශ‍්‍රාම යන විශේෂ ඉහළ ශ්‍රේණියේ නිලධාරීන්ට ඩොලර් හතළිස්පන්දහස දක්වා සීමාව ඉහළ දමා ඇති බවත් එහි දී සියයට 45 ක් අය කළ බද්ද සියයට 25 දක්වා අඩු කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

- සංජය ලියනගේ

Share on Google Plus