ඥානසාර හිමිට වරෙන්තු.


මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයකට නොපැමිණීමේ හේතුවෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මතුගම මහෙස්ත්‍රාත් වසන්ත කෝසල සේනාධීර මහතා 27 දින විවෘත වරෙන්තු නිකුත් කළේ ය.

මෙම නඩුව සම්බන්ධයෙන් මෙයට පෙර මාර්තු 29 දින නඩුවට නොපැමිණීමේ හේතුවෙන් පළමුවරට වරෙන්තු නිකුත් කර අධිකරණයේ කටයුතුවලට ඉදිරිපත් වන ලෙස ද තරයේ දැනුම් දුන්නේ ය.

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී 2015/08/08 දින පවතින මැතිවරණ නීති - රීති උල්ලංඝනය කරමින් වැලිපැන්න පොලිස් වසමේ මීගම ආඳාවල ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ පරිශ්‍රයේ දේශපාලන රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන් ඇතුළු තවත් හිමිවරුන් සිව්දෙනකුට චෝදනා ලැබ තිබුණි.

බොදුජන පෙරමුණෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තරග කර තිබුණ නිසා මෙම දේශපාලන රැස්වීම පැවැත්විණි.

එහෙත් මෙම දේශපාලන රැස්වීම පැවැත්වීමට පොලිසියෙන් අවසර ගෙන තිබුණේ විහාරස්ථානය ආසන්නයේ ඉඩමකටයි.

මෙම විහාරස්ථ පරිශ්‍රයේ පවත්වන බවට පොලිසියට තොරතුරු ලද නිසා පොලිසිය ගොස් එහි නොපවත්වන ලෙස දැනුම් දුන්නේය. පළමුව සංවිධාකයින් ඒ සඳහා එකඟවිය. එහෙත් ඥානසාර හිමි ඇතුළු හිමිවරු පැමිණ එම විහාරස්ථානයේ රැස්වීම පැවැත්විණි. එවකට හිටපු වැලිපැන්න පොලිස් ස්ථානාධිපති කපිල අධිකාරි මහතා මේ නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් මතුගම අධිකරණයට කරුණු වාර්තා කළේ ය.

සිද්ධියට අදාළ හිමිවරු අධිකරණයට ඉදිරිපත් වූ පසු ඇප මත මුදාහැර තිබුණි. මෙම නඩුව තෙවන වරට මෙම මැයි මස 27 දින කැඳවූ අවස්ථාවේ බඬල්කුඹුරේ අරියශාන්ත හිමි, දැරගම සුමන හිමි, අයගම සමිත හිමිවරු අධිකරණයට පෙනී සිටියහ. මෙදින නඩු විභාගයට ගලගොඩඅත්තේ ඥානසාර හිමි හා මාගල්කන්දේ සුදත්ත හිමි නොපැමිණියේ ය.

මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටින අධිනීතිඥ ගාමිණී නල්ලපෙරුම මහතා මාගල්කන්දේ සුදත්ත හිමියන්ට නුගේගොඩ අධිකරණයේ නඩුවකට පෙනී සිටින හෙයින් මෙම අධිකරණයට නොපැමිණි බව අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ අනුව ග‍‍ලගොඩඅත්තේ හිමියන්ට වරෙන්තු නිකුත් කළේ ය. වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ලලිත් රාජමන්ත්‍රී, පොලිස් සැරයන් නිලන්ත යන මහත්වරු පරීක්ෂණ මෙහෙයවති. 

Share on Google Plus