විමල්ගෙන් පඩි කෑ තවත් අය හෙළි වෙයි - මාධ්‍යවේදියෙකුත් ඒ අතර.


2011 සිට 2014 දක්වා කාලය තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ බත්තරමුල්ල උප ව්‍යාපෘති කාර්යාලය සහ  "ජන සෙවණ" අධීක්ෂණ කාර්යාලය යනුවෙන් කාර්යාල 02ක් පවත්වාගනිමින් විමල් වීරවංස හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා විසින් සිය හිතවතුන් සහ ඥාතීන්ට සංග්‍රහකිරීම සඳහාද තම පක්ෂ සාමාජිකයන්ට දේශපාලන කටයුතුවල යෙදීම වෙනුවෙන් රජයේ වැටුප් ගෙවීම සඳහාද කටයුතු කළ තවත් අවස්ථාවක් අනාවරණය වී තිබේ.

එම කාර්යාල සඳහා නිවාස අමාත්‍යාංශයට අනුබද්ධ ඕෂන්වීව් ඩිවලොප්මන්ට් සමාගම යටතේ විස්සකට ආසන්න පිරිසකට පත්වීම් ලබා දී ඇති අතර ඔවුන්ගෙන් තිදෙනෙකු හැරෙන්නට සෙසු 17දෙනා වෙනත් වෘත්තීන්වල නිරතවෙමින් සිටියදී ඕෂන්වීව් සමාගමෙන් වැටුප් ලබා ගෙන තිබේ.

එමෙන්ම මෙහි බඳවාගෙන ඇති පිරිසෙන් විමල් වීරවංස අමාත්‍යවරයාගේ හිතවතුන් සහ ඥාතීන් වැටුප් සහිතව එම කාර්යාලයෙන් මුදා හරින ලෙස වීරවංස අමාත්‍යවරයා දන්වා ඇති අතර ඔවුන් සෘජුවම යෙදී ඇත්තේ අමාත්‍යවරයාගේ දේශපාලන කටයුතුවලය.

මෙරට විජය පුවත්පත් සමාගමේ මාධ්‍යවේදියෙකු වන ප්‍රසන්න සංජීව තෙන්නකෝන්ද එම කාර්යමණ්ඩලය අතර සිටී. අනාවරණය වන තොරතුරු අනුව ඔහු එම කාර්යාලයේ ප්‍රවෘත්ති සම්බන්ධීකාරක තනතුර හොබවා ඇත.

ඉන් එක් කාර්යාලයක්, ජන සෙවන අධීක්ෂණ කාර්යාලය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, කොළඹ 02 යන ලිපිනයෙහිද අනෙක් කාර්යාලය, බත්තරමුල්ල උප කාර්යාලය, ඕෂන් විව් ඩිවලොප්මන්ට් පුද්. සමාගම, අංක 33, සුනිල් මාවත, බත්තරමුල්ල යන ලිපිනයෙහිද පවත්වාගෙන ගොස් තිබේ. 

මෙවැනි කාර්යාල දෙකක් ඇති කර එපමණ සේවක සංඛ්‍යාවක් බඳවාගැනීමට තරම් අවශ්‍යතාවයක් තිබී නැති අතර මෙම බඳවාගැනීම නිසා ආසන්න වශයෙන් රජයට රුපියල් මිලියන 30ට ආසන්න පාඩුවක් සිදුව ඇති බවද අනාවරණය වෙයි.









Share on Google Plus