මට මතක නෑ - මාව නිදහස් කරන්න.


භාරත ලක්‍ෂමන් ඝාතන සිද්ධිය හෝ 2011 ඔක්තෝබර් 08 වැනිදා සිදු වූ සිද්ධිය පිළිබඳව තමන්ට කිසිදු මතකයක් නැතැයි භාරත ලක්‍ෂමන් ඝාතන නඩු විභාගයේදී විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් පැවසූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා මෙම නඩුවෙන් තමා නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය. 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් මහතා ඇතුළු සිවු දෙනෙකුට වෙඩි තබා ඝාතනය කොට තවත් අයෙකුට වෙඩි තබා මරා දැමීමට තැත් කරන ලදැයි නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුවේ 11 වැනි විත්තිකරු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විත්ති කූඩුවේ සිට සිය විත්ති වාචකය ඉදිරිපත් කරමින් එලෙස පැවසූ අතර, පසුගිය සමයේ පැවැති මැතිවරණවලදී තමන් වැඩිම මනාප ලබාගත්තේ යැයිද කීය.
එකොළොස් වැනි විත්තිකාර දුමින්ද සිල්වා මහතා විත්ති කූඩුවේ සිට සිය විත්ති වාචකය ඉදිරිපත් කරමින් මෙසේද පැවසීය.

“මෙම නඩුවේ එකොළොස් වැනි විත්තිකරු ලෙස මට එරෙහිව ඉදිරිපත් කොට ඇති චෝදනාවලට මම නිවැරදිකරු. 2011 ඔක්තෝබර් මස 08 වැනිදා සිදු වූ සිද්ධිය පිළිබඳව මට කිසිම මතකයක් නැහැ. 

කොළඹ ශාන්ත පීතර විදුහලෙන් අධ්‍යාපනය ලැබූ මා අ.පො.ස. උසස් පෙළ අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව තේ කොළ සමාගමක තේ අංශය බාර ප්‍රධානියා ලෙස රැකියාව ආරම්භ කළා. මා රැකියාව කරන අතරතුර එක්සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලන කටයුතු කිරීම ආරම්භ කළා.

එසේ දේශපාලන කටයුතු කරද්දී 2004 වසරේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් බස්නාහිර පළාත් සභාවට තරග කළා. එහිදී මා වැඩිම මනාප ලබාගෙන බස්නාහිර පළාත් සභාවට තේරී පත්වුණා.

ඉන්පසු 2009 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට තරග කළ මා වැඩිම මනාප ලබාගෙන යළිත් වරක් එම පළාත් සභාවට තේරී පත් වුණා.

2010 වසරේදී මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ මා ඉන් වැඩිම මනාප ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. මාව මේ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන්න* යනුවෙන් කියා සිටියේය.


Share on Google Plus