අනුර සේනානායක හෙට අත්අඩංගුවට?


රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ගිය රජය සමයේ පරීක්ෂණ පැවැත්වූ බව කියන විශ්‍රාමික පොලිස් නිලධරයකු අද හෝ හෙට අත්අඩංගුවට ගනිතියි පොලිස් ආරංචි කියයි.

තාජුඩීන් රිය අනතුරකදී මිය ගිය බව ඇඟවෙන පරිදි පරීක්ෂණ පැවැත්වීමට ඔහු යටත් නිලධරයනට උපදෙස් දුන් බව කියති.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඊයේ පෙරවරුවේ සිට රාත්‍රී 11.30 දක්වාම හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ගෙන් දීර්ඝ ප්‍රකාශයක් ලබාගෙන තිබිණ.

ඒ, රගර් ක‍්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඩීන් ඝාතනයේ කරුණු වසන් කිරීම, විමර්ශන යටගැසීම, අපරාධ සැඟවීම, සාක්ෂි විනාශ කිරීම යන චෝදනා සම්බන්ධයෙනි.

කට උත්තරයක් ලබාගැනීම සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස පොලිසිය විසින් දැනුම්දී තිබුනේ එම ඝාතනය සිද්ධියට අදාලව පරීක්ෂණ පැවැත්වූ පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ ප්‍රකාශ සැලකිල්ලට ගනිමිනි.

අනුර සේනානායක මහතාට අද (19) පස්වරු 2.00ට යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දී ඇති අතර, තවදුරටත් කට උත්තර ලබා ගැනීමෙන් පසු ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වසීම් තජුඩීන් ඝාතනය සම්බන්ධව එවක නාරාහේන්පිට රථවාහන අංශ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතා, පසුගිය16 දින, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 127 වන වගන්තිය ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ස්වෙච්ඡා ප්‍රකාශයෙන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කර මුලටම හිරවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර වසීම් තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවේ පසුවන පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා මහතා ද අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 127 වන වගන්තිය ප්‍රකාරව ස්වෙච්ඡා ප්‍රකාශයක් කිරීමට සූදානම් බව තම නීතිඥවරයා මාර්ගයෙන් පොලීසියට දන්වා ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

Share on Google Plus